Language Switcher

V2025

රාජපක්ෂවරුන්ගේ වංචා දුෂණ සොයන්න ජනපති කොමිසමක් !

මිහින් ලංකා හා ශ්‍රීලන්කන් ආයතන වල සිදුව ඇතැයි කියන දැවැන්ත වංචා හා දුෂණ සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබා ගැනීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම කොමිසම හරහා පසුගිය යුගයේ සිදුව ඇති මහ පරිමාණයේ දුෂණ වැලක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි ද ජනාධිපතිවරයා විශ්වාසය පළකළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේ ඊයේ (22) රාත්‍රී පැවති ශ්‍රීලනිප ආසන සංවිධායකයින්ගේ විශේෂ රැස්වීම අමතමිනි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට ශ්‍රීලනිප මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජනාධිපතිවරයාගේ දිස්ත්‍රීක් සම්බන්ධිකරණ නිලධාරීන් හා නීතිඥයින් විශාල පිරිසක් ද සහභාගී වී සිටියේය.

හොරුන්ට සමාවක් නැහැ !

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව මෙම මස අගදී ප්‍රකාශයට පත්වීමට නියමිත බවත්, එම වාර්තාව අනුව කිසියම් පුද්ගකයකු හෝ පිරිසක් මෙම මහජන දේපල කොල්ලකෑමට සම්බන්ධ බවට තහවුරු වුනොත් ඔහුගේ පක්ෂය, තනතුර, ජාතිය හා ආගම ආදී කිසිවක් නොසලකා නිත්‍යානුකුලව කටයුතු කරන බවද අවධාරණය කළේය.

'' මම පොදු අපේක්ෂකයා ලෙස පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට මගේ බැංකු ගිණුම්වල සත පහක්වත් තිබුනේ නැහැ. එහෙම එලියට බැහැල දින 49ක් තුලදී බහුතර ජනතාවක් මට ජනවරමක් ලබා දුන්නා. ඒ වංචා දුෂණ යලි කරන්න නෙමෙයි. පිරිසිදු දේශපාලනයක් කරන්න.

ජනාධිපති වූ පසු මම ඒ සඳහා බලවත් උත්සහයක් කළා. වංචා දුෂණ හොයන්න කොමිසම් පත්කලා. මෙම පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ, මම දැඩි තීන්දු තීරණ ගන්නවා. පක්ෂ - පාට බේද නොසලාක හැර මෙරට පිරිසිදු රටක් කරන්න මම කටයුතු කරනවා '' යයි ද ජනාධිපතිවරයා පැවසිය.

බණ්ඩාරනායක නාමය මකන්න හැදු අය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බණ්ඩාරනායක නාමය මහන්න කටයුතු කල උදවිය අද බණ්ඩාරනායක මහතාගේ හා බණ්ඩාරනායක මැතිනියගේ ජායාරුප යොදා ගනිමින් ජි.එල්. පිරිස් මහතාගේ පක්ෂයේ මැතිවරණ කටයුතු සිදුකිරීම දෛවයේ සරදමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම රැස්වීමේදී පැවසිය.

ශ්‍රීලනිපයේ සැම අභ්‍යන්තර රැස්වීමක් ආරම්භයේදී පක්ෂයේ නිර්මාතෘවරයාණන් වන බණ්ඩාරනායක මහතා සහ ඉතාම දුෂ්කර යුගයක පක්ෂය ආරක්ෂාකළ බණ්ඩාරනායක මැතිනිය සිහිපත් කිරීමට විනාඩි දෙකක් නිශ්ශබ්දව සිටීමේ සම්ප්‍රදායක් පැවති බවත් 2011 එම සම්ප්‍රදාය අහෝසි කිරීමට කටයුතු කල බවත් ජනාධිපතිවරයා එහිදී පැවසිය.

''මම පක්ෂයේ හිටපු මහ ලේකම්. 2011 වසර මුලදී මට හිටපු විධායක ජනාධිපති ගෙන් නියෝගයක් ලැබුනා පක්ෂයේ කටයුතු වලදී බණ්ඩාරනායකවරු සිහිපත් කිරීමේ සම්ප්‍රදාය නවත්වන්න කියලා. එසේ අහෝසිකළ සම්ප්‍රදාය යලි ආරම්භ කලේ මම ජනාධිපතිවෙලා පක්ෂයේ නායකයා වුනාට පස්සේ.

පක්ෂ මුලස්ථානය තිබුන බණ්ඩාරනායක වරුන්ගේ ජායාරුප ඉවත් කරන්නත් මේ උදවිය කටයුතු කළා ..

එහෙම බණ්ඩාරනායක නාමය මකන්න කටයුතු කල උදවිය මේ මැතිවරණයේදී ජි. එල්. පිරිස් මහත්තයාගේ පක්ෂයේ ප්‍රචාරක කටයුතු වලට බණ්ඩාරනායක මහත්තයාගේ ජායාරූප යොදාගෙන. බණ්ඩාරනායක මැතිනියගේ ජායාරුප යොදාගෙන. දෛවයේ සරදම කියන්නේ මේකට..''

හරි අතට - එක මිටට - නොකිලිටි ගමනක් :

බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවේ පිරිසිදු දේශපාලන දර්ශනයක් සහිතව බව එහිදී අවධාරණය කල ජනාධිපතිවරයා, එම දර්ශනය ඉදිරියට ගෙනයාම පක්ෂයේ වගකීම බවද කියා සිටියේය.

හරි අතට - එක මිටට - නොකිලිටි ගමනක් ශ්‍රීලනිපයේ තේමා පථයක් විය යුතු බවද පැවසිය.

බණ්ඩාරනායකවරු හිටිය නම් කවදාවත් 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයක් ගෙන ඒමට කටයුතු නොකරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.