ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් සමග ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති යෝජනාව ප්‍රතික්ෂේප කරමින් නව යෝජනාවලියක් ඉදිරිපත් කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරයේ දී සැප්තැම්බර් 25 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කරන්නට සිටි අදහස් දැක්වීම අවසාන මොහොතේ වෙනස් කර ඇතැයි වාර්තා වෙයි.
එම වෙනස් වීම සඳහා ජනාධිපතිවරයා සමග ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය, යුරෝපා කොමිසම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් කරන ලද සාකච්ඡා හේතු වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සැප්තැම්බර් 14 වැනිදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් මුණගැසුණු අවස්ථාවේ ලංකාවට එරෙහිව ඇති මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර තිබුණි. එහිදී ලංකාවට එරෙහිව ජිනීවාහී ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලිය ප්‍රතික්ෂේප කරීමට කටයුතු කරන බවට ද අදහස් දක්වා තිබිණි.
මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාගේ එම අදහස් වාර්තා වුණු අතර විදේශ තානාපති කාර්යාල ඒ සම්බන්ධයෙන් මැදිහත් වී තිබුණේ ඉන් පසුවය.
අගමැතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසී එවැනි ප්‍රකාශයක් නොකරන ලෙස ඉල්ලා ඇත. ලංකාව ජාත්‍යන්තර වශයෙන් ලද ජයග්‍රහණය එවැනි ප්‍රකාශයක් සිදු කළ හොත් අහිමි වනු ඇතැයි අගමැතිවරයා පෙන්වා දී තිබේ.
ඇමරිකානු තානාපති කාර්යාලයේ සහ යුරෝපා සංගමයේ නියෝජිතයන් ජනාධිපතිවරයා මුණගැසී එවැනි ප්‍රකාශයක් නොකරන ලෙස ඉල්ලා ඇත. එවැනි ප්‍රකාශයක් කළ හොත් ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වීම, යුරෝපා සංගමයට මත්ස්‍ය සම්පත් අපනයනය කිරීම තහනම් කිරීම ආදී ආර්ථික සම්බාධක යළි පැනවීමට සිදුවනු ඇති බවත් ජාත්‍යන්තර වශයෙන් තවත් බරපතල ගැටළුවලට මුහුණ දීමට ලංකාවට සිදුවනු ඇති බවත් එම නියෝජිතයන් පෙන්වා දී තිබුණි.
ඊට අමතරව ජනාධිපතිවරයා සමග එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා සහභාගි වීමට ඇමරිකාව වෙත ගමන් කළ අමාත්‍ය මනෝ ගනේෂන්, අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් ද මේ පිළිබඳව පැහැදිළි කර ඇති අතර ඇමරිකාවට ගොඩබසිද්දී ජනාධිපතිවරයා සිය අදහස වෙනස් කරගෙන සිටි බව ජනාධිපතිවරයා සමග ඇමරිකාවට ගිය කණ්ඩායමේ සාමාජිකයෙක් ඇමරිකාවේ සිට අනිද්දා සමග අදහස් දක්වමින් කීය.
එම දූත කණ්ඩායමේ තවත් සාමාජිකයකු වන අමාත්‍ය මනෝ ගනේෂන් තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් පළ කරමින් ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම කතාව අවසන් කළ විගස ශ්‍රී ලංකාවේ දූත කණ්ඩායම අසලට පැමිණ තමන්ගේ කර මත අත තබා “කතාව කොහොම දැයි” විමසූ බවය. මනෝ ගනේෂන් මහතා එම සටහනෙහි වැඩි දුරටත් සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයා පැවැත්වූ කතාව පිළිබඳ තිරය පිටුපස කතා තිබෙන බවයි. ඒවා තිරය පසුපසම පැවතීම යහපත් බව මනෝ ගනේෂන් ඇමතිවරයා එහි වැඩි දුරටත් සටහන් කර තිබුණි.
ජනාධිපතිවරයා මුලින් සැලසුම් කළ ප්‍රකාශය කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලාංකාවේ සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන දෙමළ ජාතිවාදී සංවිධාන විසින් එම ප්‍රකාශයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ද සැලසුම් කර තිබුණු බව වාර්තා වෙයි. ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයද එවැනි ප්‍රකාශයක් සිදු කළ හොත් ආණ්ඩුවට විරුද්ධව දැඩි ස්ථාවරයක් දක්වා මාරුවීමට සූදානමකින් සිට ඇතැයි ආණ්ඩුවේ ඉහළ ආරංචිමාර්ග පවසයි.
අනිද්දා

