ලෝක ළමා සහ වැඩිහිටි දිනය නිමිති කරගෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් නිවේදනයක් නිකුති කර තිබේ.
ලෝක ළමා වැඩිහිටි දිනය සමරන අද දවසේ ළමා ලොව සුරක්ෂිත කිරීම උදෙසා කැපවන්නටත්, වියපත් වැඩිහිටියන් වෙත ලැබිය යුතු ආදරය, ගෞරවය, අවධානය ලබා දෙන්නටත් අදිටන් කරගනිමු යනුවෙන් අවධාරණය කර ඇති එම නිවේදනයේ මෙසේද දැක්වේ.
මිනිසා සතු උතුම්ම සම්පත දරුවන් බවට විවාදයක් නැත. දරුවන් හදා වඩා ගැනීමටත්, ඔවුන්ගේ ජීවිත නඟාසිටුවීමටත් ඕනෑම කැපකිරීමක් කිරීමට මව්පියන් සූදානම්ය. සමස්ත ජීවිතය තම දරුවන් සහ සමාජය වෙනුවෙන් කැප කළ දෙවන ළමා වියේ වෙසෙන්නවුන් ලෙස සැලකෙන වියපත් වැඩිහිටියන්ද එලෙසම රැකබලා ගැනීම අපගේ වගකීමකි.
“දිරියෙන් පෙරමුණට යන්න - ළමා කැලට සවිය දෙන්න” යන්න මෙවර ලෝක ළමා දින තේමාව වන විට, “මානව අයිතීන් දිනා දුන් ජ්‍යෙෂ්ඨ පුරවැසි විශිෂ්ටයන් අභිමානයෙන් සමරමු” යන්න ලෝක වැඩිහිටි දින තේමාව වේ. දරුවන් සහ වැඩිහිටියන් සම්බන්ධව අපගේ කාර්යභාරය කුමක්ද යන්න අලූතින් සිතා බලන්නට මෙම තේමාවන් අප දිරිගන්වනු ඇත.
තරඟකාරී අධ්‍යාපන රටාව එක්පසෙකිනි. තවත් පසෙකින් නවීන සන්නිවේදන, තාක්ෂණික දියුණුව ළමා ලොව ආක්‍රමණය කරමින් පවතී. මත් පැන්, මත්ද්‍රව්‍ය මෙන්ම ළමා අපයෝජන, ළමා අපචාර ද දරුවන්ට එරෙහිවය. මේ සියලූ බාධක මැද දිරියෙන් ජීවිතය ගොඩනගාගන්නට නම් වැඩිහිටි අපගේ සහය සහ මඟපෙන්වීම දරුවන්ට ලැබිය යුතුමය.
විවිධ සමාජ, ආර්ථික ගැටලූ මැද අසරණභාවයට පත් වන වියපත් වැඩිහිටියන් රැක බලාගැනීම සඳහා මානුෂිකව මැදිහත්විය යුතු අතරම, ජාත්‍යන්තර මට්ටමේ වැඩිහිටි සුබසාධන සේවා වෙතින් දැනුම සහ අත්දැකීම් ලබාගනිමින් ඒ සඳහා පුළුල් වැඩපිළිවෙලක් දියත් කිරීමද අත්‍යවශ්‍යව පවතී.

