ඊනියා දේශප්‍රේමීන් බහුජාතික සමාගම්වලට කුණු කොල්ලයට ඉඩම් විකුණලා - සජිත් 

ඊනියා දේශප්‍රේමීන් බහුජාතික සමාගම්වලට කුණු කොල්ලයට ඉඩම් විකුණලා - සජිත් 

දේශප්‍රේමීන් ලෙස පෙනී සිටින්නට උත්සාහ දරන විරුද්ධවාදීන් පසුගිය පාලන සමයේදී ඌව වෙල්ලස්සේ වටිනා ඉඩම් අක්කර විසි තිස්දහස් ගණනින් විදේශීය බහුජාතික සමාගම් වලට කුණු කොල්ලයට ලබා දී කොමිස් මුදල් ලබා ගත් අකාරය ජනතාවට අමතක නැති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
 
දේශප්‍රෙමයේ නාමයෙන් පසුගිය පාලකයින් ගනුදෙනු කළේ ජනතාව සමඟ නොව, මහාපරිමාන ගනුදෙනු කරුවන් සමඟ බවත් අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.
 
රටේ පාලකයන් හා පුරවැසියන් අතර  වසර 5 කට 6 කට වරක් සිදුවන මැතිවරණ ගනුදෙනු වලදී ජනතා අවශ්‍යතාවන් ඉටුකරන, ඔවුන් බලාපොරොත්තු වන සහන ලබා දෙන දේශපාලනඥයින්ට ඉදිරියේදී බලය ලබා දෙනවාද නැද්ද කියා ජනතාව තීරණය කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය
 
2025 දී මෙරට දුගි දුප්පත් ජනතාව වෙනුවෙන් උදාගම්මාන විසි දහසක් (20,000) ඉදිවිම හොඳනම් යහපාලන රජයට බලය ලබා දෙන ලෙසත්, මහරජාණන්ට හා ඔහුගේ පවුල් පරපුරට මාළිගා ඉදිකර ගැනීම හොඳ නම් පොහොට්ටුවට බලය ලබා දෙන ලෙසත් පැවසූ අමාත්‍යවරයා, රුපියල අවප්‍රමාණය වීම පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන විට කෙළින් පිළිතුරක් ලබාදීමට නොහැකි වූ පුද්ගලයා ආණ්ඩු කරන්නේ කෙසේදැයි කියා තමන් ප්‍රශ්න කරන බවත් සඳහන් කළේය. 
 
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මොනරාගල දිස්ත්‍රික්කයේ, කටුපිලගම ප්‍රදේශයේ ඉදිකළ “නලසිරිගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට පසුගිය ද   සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් වන 129 වන ආදර්ශ ගම්මානය මෙයයි.
 
නිවාස 32 කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 245 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.
 
“නලසිරිගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 32 දෙනාට නිවාස හිමිකම් ලබාදීම සහ රුපියල් ලක්ෂ 320 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 32 හි හිමිකම්පත්‍ර ප්‍රදානය, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 100 කට රුපියල් ලක්ෂ 100 ක් වටිනා ‘විසිරි නිවාස ණය’, ප්‍රතිලාභී පවුල් 29 කට රුපියල් ලක්ෂ 58 ක් වටිනා “සොඳුරු පියස” නිවාස ණය ප්‍රදානය, ප්‍රතිලාභීන් 25 කට රුපියල් ලක්ෂ 132 ක් වටිනා “විරුසුමිතුරු” නිවාස ආධාර, ප්‍රතිලාභීන් 41 කට රුපියල් ලක්ෂ 205 ක් වටිනා “ආදර්ශ ගම්මාන” නිවාස ආධාර ප්‍රදානය, රුපියල් ලක්ෂ 12 ක් වටිනා ස්වයං රැකියා ණය ප්‍රදානය හා දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 200 දෙනෙකුට ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.
 
මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා හා ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක් සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න