ජාතික ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතු බවට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේම පිරිසක් පක්‍ෂ අභ්‍යන්තරයේ ඇති කරගෙන යන මතවාදයන් හේතුවෙන් සභාග ආණ්ඩු යෝජනාව බිඳ වැටෙන ලකුණු පහළ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලනිපයේ මැති ඇමැතිවරුන්ගෙන් කොටසක් ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට යෝජනා කරන නමුත් තවත් මැති ඇමැතිවරු 20 ක් පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකතුව සභාග ආණ්ඩු හදනවාට විරෝධය පළ කිරීම නිසා මෙම තත්ත්වය උදා වී තිබේ.
සභාග ආණ්ඩුවට එරෙහි පිරිස වත්මන් ආණ්ඩුව වසර 2020 අගෝස්තු දක්වා පවත්වාගෙන යා යුතු බවත් සඳහන් කරයි.
සභාග ආණ්ඩුවට සහාය දක්වන පිරිස සමඟ ශ්‍රී ලනිපයෙන් විපක්‍ෂයේ අසුන්ගත් 15 දෙනා ද සිටින අතර ශ්‍රී ලනිපය හැකි ඉක්මනින් ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ඔවුන් ජනාධිපතිවරයාට කරුණු දක්වා තිබේ.
ලබන 16 වැනිදා පැවැත්වීමට නියමිත පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව තවදුරටත් කරුණු දැක්වීමට එම පිරිස සූදානමින් සිටින බවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශ කර තිබේ.
සභාග ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලනිපය තීන්දුවක් ගන්නා තෙක් ඒ පිළිබඳව සාකච්ඡා නොකිරීමට ඒකාබද්ධ විපක්‍ෂය පසුගියදා තීරණය කරනු ලැබුවත් මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකතු වීමට අකමැත්තක් දරන ඉහත මන්ත්‍රීවරුන් නිසා ශ්‍රී ලනිපයෙන් එම යෝජනාව ඉදිරිපත් නොවනු ඇති බවත් වාර්තා වේ.
සභාග ආණ්ඩු 'බෝලය' මෛත්‍රීට 'පාස්' කරයි :
ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා භාරකාර ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ නම් ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී.ල.නි.පය මුලින් ඒ ගැන අවසන් තීන්දුවකට එළඹ විපක්ෂය සමඟ සාකච්ඡා කරන්නැයි ජනපතිවරයට දැන්වීමට ඒකාබද්ධ විපක්ෂය තීන්දු කර ඇතැයි 'දේශය' පුවත්පත ද වාර්තා කරයි.
භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් දෙවැනි සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට පෙර විශ්වාසය තහවුරු කිරීම සඳහා මෙවැනි පියවරක් ගත යුතු යැයි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය දීර්ඝ සාකච්ඡා වට දෙකකින් පසුව තීරණය කර ඇතැයි ද එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

