මහින්ද මහත්තයෝ ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද ? - සජිත්

මහින්ද මහත්තයෝ  ලැජ්ජාවක්  ගෑවිලාවත් නැද්ද ? - සජිත්

පසුගිය රජය සමයේ ටෙලිසිනමා ගම්මානය ඉදිකිරීමට ලබාදුන් ඉඩම්වල සජිත් ප්‍රේමදාස ගිනි පෙට්ටි වැනි නිවාස ඉදිකරනවා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු ලැජ්ජාවකින් තොරව මාධ්‍ය ඉදිරියේ චෝදනා කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

එදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඔහුගේ පුතණුවන්ට රේස් කාර් පැදීමට ටෙලිසිනමා ගම්මානය ආසන්නයේ අක්කර 10,000 ක ඉඩමක් වෙන්කර තිබූ බවත්, මෙරට ඉඩම් නොමැති අසරණ ජනතාව ලක්ෂ ගණනින් සිටියදී කෝටි ගණන් වැයකර එසේ සිදු කිරීම හරිද වැරදිද කියා හදවතින් සිතා බලන්නැයි තමන් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පවසයි.

එසේම  යහපාලන රජය ඉදිකරන උදා ගම්මානවල නිවාස ගිනි පෙට්ටි නිවාස දැයි නිරීක්ෂණය කිරීමට තමන් සමඟ පැමිණෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමන් ආරාධනා කරන බවද සඳහන් කළේය.

මෙරට රාජ්‍ය බලය, නිල බලය සහ රටේ ජාතික සම්පත් සූරා කෑමට ගිජු ලිහිණියන් ගොදුරු ඩැහැ ගන්නා සේ විරුද්ධවාදීන් අද බලා සිටින බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.   

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ලුණුගම්වෙහෙර, කරඹවැව ඉදිවූ “සඳලියගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (14) දින සහභාගී වෙමිණි. 

“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් වන 139 වන ආදර්ශ ගම්මානය මෙයයි.

නිවාස 32 කින් සමන්විත මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ  287 කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ.

“සඳලියගම” ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 32 දෙනාට නිවාස හිමිකම් ලබාදීම සහ රුපියල් ලක්ෂ 160 ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 32 ක හිමිකම්පත්‍ර ප්‍රදානය, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 150 කට රුපියල් ලක්ෂ 150 ක් වටිනා ‘විසිරි නිවාස ණය ප්‍රදානය’, ප්‍රතිලාභීන් 33 කට රුපියල් 238,000 ක් වටිනා ලීටර් 500 ජල ටැංකි ප්‍රදානය, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 67 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය, ගම්මානයේ නිවාස සමිතිය සඳහා පුටු සහ නිවාසලාභීන් සඳහා අඹ පැළ හා පොල් පැළ ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි. මීට අමතරව වකුගඩු රෝගී සායනයක් සහ දේශීය වෛද්‍ය සායනයක් මෙහිදී පැවැත්විණි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න