රට තුල දැනට මතුව ඇති දේශපාලන අර්බුදය සමතයකට පත්කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සුළු ජාතික පක්ෂ එක්වූ ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පසුගිය සති අන්තයේ සාකච්ජා වට කිහිපයක් පවත්වා ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
එවැනි ජාතික ආණ්ඩුවක කැබිනට් අමාත්‍ය ධුර එජාපෙ, ඒකාබද්ධය හා ශ්‍රීලනිපය අතර සමසේ බෙදීයන ආකාරයට සිදුවිය යුතු බවද එහිදී සාකච්ජාවට බඳුන් වී ඇතැයි පැවසේ.
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් එහි ප්‍රධානින් කිහිප දෙනෙකු ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ජා පවත්වා ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ නැති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
මෛත්‍රී - රනිල් හමුවක් සංවිධානය කිරීම ඔවුන්ගේ මුලික ඉලක්කය වී ඇතැයි ද වාර්තාවේ.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම මත, සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න, ජෝන් අමරතුංග, රිෂාඩ් බද්දුර්දින් යන මන්ත්‍රීවරුන් පසුගිය දින කිහිපයෙහි ජනාධිපතිවරයා හමුවී කිසියම් එකඟතාවයක් ඇතිකර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා තිබිණ.
එසේම, ජනාධිපතිවරයා එජාපෙ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටම දුරකථන ඇමතුම් ලබාදෙමින් වත්මන් දේශපාලන අර්බුදය සමතයකට පත් කර ගැනීමට සහය වන්නැයි ඉල්ලා තිබිණ.

