මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පැමිණි තවත් මන්ත්‍රී පිරිසක් ශ්‍රීලනිප සාමාජිකත්වයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට තීරණය කර ඇත.
ඩී.වී.චානක, කාංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ යන මන්ත්‍රීවරුන් දැනටමත් ඒ බව සිය ට්වීටර් ගිණුමේ සටහන් තබමින් සඳහන් කර තිබේ. එසේම යහපාලන ආණ්ඩු සමයේ ඒකාබද්ධ විපක්ෂයට පක්ෂව කටයුතු කළ තවත් ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක්ම මේ ආකාරයට පොදුජන පෙරමුණට සම්බන්ධවීමට තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.
පාර්ලිමේන්තුව විසුරවීමත් සමඟ මේ ආකාරයට මන්ත්‍රීවරුන් රැසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට තීරණය කිරීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේද අර්බුද රැසක් නිර්මාණය වෙන්නට ගෙන ඇත.
වාර්තා වන ආකාරයට ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් වන්නේ සන්ධානයක් ලෙසින්ද නැතිනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තු හරහාද යන්න පිළිබඳ මෙතෙක් තීන්දුවක් නොගැනීම හේතුවෙන් නිදහස් පක්ෂ අභ්‍යන්තරය මුළුමනින්ම නොසන්සුන් වීමට ප්‍රධාන හේතු වී තිබේ. එසේම මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියා සිටි පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම තුළින් පක්ෂයට ආකර්ශනීය නායකයන් නැතිවීමද අර්බුදයක්වී තිබේ.
මහින්ද සමඟ සාකච්ඡා තීරණයක් නැතිව අවසන් !
මේ සම්බන්ධව ඊයේ (09) දිනයේ ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් මහින්ද රාජපක්ෂ සමඟ සාකච්ඡා කර ඇති නමුත් ඒ ගැන කිසිඳු තීරණයක් ගැනීමට නොහැකිවී ඇති බවද වාර්තා වෙයි.
එසේම මතුව ඇති තත්ත්වය සම්බන්ධව තමන් බැසිල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කර තීරණයක් ගෙන දන්වන බවද එහිදී මහින්ද මහතා පවසා ඇති බවද වාර්තා වෙයි.
සිරිසේන රැකපු ශ්‍රීලනිප සාමාජිකයා : අතරමං !
එපමණක් නොව පොහොට්ටු ලැයිස්තු තුළ තරග කිරීමද මේ වන විට නිදහස් පක්ෂ අපේක්ෂකයන්ට ගැටළුවක් වී තිබේ. ඒ ඔවුන්ට මෙතෙක් දිනක් එක්සත් ජාතික පක්ෂයට කත් ඇද්ද බවට එල්ලවී තිබුණු චෝදනා නිසාය.
මෙසේ චෝදාවට ලක්වුයේ රාජපක්ෂ පාර්ශවයට සම්බන්ධ නොවූ සිරිසේන ජනාධිපතිට සහය දැක්වූ පිරිසය. ඒ අනුව ශ්‍රීලනිප ප්‍රබලයන් රැසක් එළඹෙන මහ මැතිවරණයේදී දැඩි මනාප අහේනියකට මුහුණදී සිටියි.



වැඩි පංගුව ගන්න : පොහොට්ටුවේ සාකච්ඡා !
මේ අතර පොදුජන පෙරමුණ ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස එළඹෙන මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධව පක්ෂ නායකත්වයේ අවධානය යොමුව ඇති බවයි.
එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරය වෙනස්කර ඊට රාජපක්ෂ හිතවාදියෙකු පත් කිරීම සහ සෑම අපේක්ෂක ලයිස්තුවකම 60%ක ප්‍රතිශතයක් පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට වෙන්කර ගැනීම සම්බන්ධවද අවධානය යොමුකර ඇති බවත් වාර්තා වෙයි.

