Language Switcher

V2025

මහින්දට බහුතරය නෑ කියා සිරිසේන පිළිගනී : පක්ෂ නායක හමුවේ තීන්දුව මෙන්න !

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව ඊයේ (14) ඉදිරිපත්වූ විශ්වාසභංගයට සහයදුන් පක්ෂ නායකයින් අද (15) රාත්‍රියේ ජනාධිපති සිරිසේන සමඟ සාකච්ඡාවක නිරතව ඇති අතර එහිදී පොදු එකඟතාවක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

ඒ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (14) ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාව සංශෝධන සහිතව නැවත හෙට (16) දිනයේ සම්මත කර පෙන්වීමටයි.

එහිදී ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ නෛතික ගැටළුවක් ඇති බැවින් එය සංශෝධනය විය යුතු බවත් එසේ නොමැතිව තමන්ට ඊට එකඟතාව පලකල නොහැකි බවය.

ඒ අනුව අදාළ සංශෝධන සහිතව අදාළ යෝජනාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සාමත කර පෙන්වන බව පක්ෂ නායකයන් එකඟව ඇති අතර ජනාධිපතිවරයාද ඊට එකඟතාව පළකර තිබෙනවා.

එක්සත් ජාතික පෙරමුණ සහ ඊට අනුබද්ධ පක්ෂනායකයින්, ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ නායකයින් මේ සඳහා සහභාගීව සිටි අතර එය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්විණ.  

මේ අතර දේශපාලන විචාරකයන් මෙන්ම නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඊයේ ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාවේ සඳහන්  "ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදන නීති විරෝධී" බව දැක්වෙන කොටස ඉවත් කරගෙන පාර්ලිමේන්තු බහුතරය පෙන්වන ලෙස ජනාධිපතිවරයා යෝජනා කර ඇති බව පෙනෙන්නට ඇති බවයි.

එසේම දේශපාලන විචාරකයන් සහ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහන් කර සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ සඳහන් "ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරෝධී" බව දැක්වෙන කොටස ඉවත්කර යෝජනාව සම්මත කරගැනීම අවධානම් සහගත කටයුත්තක් බවයි

ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (14) ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව 
Capture123

ඒ ජනාධිපතිවරයා 2018 ඔක්තෝබර් 26 සිට නිකුත් කළ ගැසට් නිවේදන නීති විරෝධී නොවන බවට මෙහිදී පාර්ලිමේන්තුව පිළිගතහොත් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊට අදාළව පැවැත්වෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට බලපෑමක් වන නිසාය. ඔවුන් පෙන්වා දෙන ආකාරයට අදාළ කොටස ඉවත්කර යළි මහින්ද රාජපක්ෂ අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් හෝ බහුතරය සම්බන්ධ ජන්ද විමසීමක් හරහා ඔහුව පරාජය කළත් එය තේරුමක් නැති දෙයක් බවට පත්විය හැක.

මන්ද ජනාධිපති පාර්ලිමේන්තුව විසුරවීම ව්‍යවස්ථා විරෝධී නොවන බවට ඒ වන විටත් සහතිකයක් සංශෝධිත යෝජනාව හරහා පාර්ලිමේන්තුව පිළිගෙන තිබෙන නිසාය. ඒ අනුව පාර්ලිමේන්තුවේ එම පිළිගැනීම නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ විට සාක්ෂියක් ලෙස මුලික අයිතිවාසිකම් පෙත්සම් ප්‍රතික්ෂේප කල යුතු බවට ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිපතිවරයාට යොදාගත හැකිය.

එසේ වුවහොත් ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරවීමට අදාළ ගැසට් පත්‍රය බලාත්මක වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීමේ අවධානමක් පවතී. එවිට පාර්ලිමේන්තුව විසුරවීම පමණක් නොව මහ මැතිවරණයක් නිවේදනය කිරීමද බලාත්මක වෙයි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සංශෝධනය නොකිරීම බවද ඔවුන් අවධාරණය කර සිටියි.