කුමන්ත්‍රණ ආණ්ඩුවේ ජනාධිපති සිරිසේන අද (02) මහින්ද රාජපක්ෂට දුරකථන පණිවිඩයක් ලබා දෙමින් මේ අවස්ථාවේදී කිසිඳු ලෙසකින් අගමැති ධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙස ආයාචනය කර ඇතැයි වාර්තා වෙයි.
තමා එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් සමග සිදුකරන සාකච්ජා සම්බන්ධයෙන් කිසිඳු සැකයක් ඇතිකර නොගන්නා ලෙස ඉල්ලා ඇති ජනාධිපතිවරයා, තමා කිසිඳු ලෙසකින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති නොකරන බවට මහින්ද රාජපක්ෂට යළිත් වරක් අවධාරණය කර තිබේ.
ජනාධිපතිවරයා එසේ අද එම දුරකථන ඇමතුම ලබාදී ඇත්තේ, මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ සුදානමකින් පසුවන බවට සේවා ලංකා ආයතනයේ සභාපති හර්ෂ කුමාර නවරත්න මහතා ජනාධිපතිවරයාට කල දැනුම්දීමකට අනුවය. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණය මෙහෙයවූවන් අතර රාජ්‍ය නොවන සංවිධානයක් වන 'සේවා ලංකා' ආයතනයේ ප්‍රධානි හර්ෂ කුමාර නවරත්න මහතා ප්‍රධාන කාර්යභාරයක් කල පුද්ගලයෙකි.
ශිරන්ති එපාම කියයි
අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රධානින් කිහිප දෙනෙකුම මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා ඇතත් ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා නාමල් - යෝෂිත පුතුන් දෙදෙනාත් ඊට බලවත් විරෝධය පළකර තිබේ. එසේම, මේ අවස්ථාවේදී අගමැතිකමෙන් කිසිඳු ලෙසකින් ඉවත් නොවන්නැයි විමල් විරවංශ, උදය ගම්මන්පිල හා මහාචාර්ය ජි.එල්. පිරිස් යන පක්ෂ නායකයින් ද මහින්ද රාජපක්ෂට බලපෑම් කරමින් සිටිති.
නිවුස්ඔෆ්ලංකා

