ජනාධිපති ව්‍යවස්ථා විරෝධීයි : නීති විශාරදයින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවධාරණය කරයි !

ජනාධිපති ව්‍යවස්ථා විරෝධීයි : නීති විශාරදයින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවධාරණය කරයි !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ඇත්තේ   අවස්ථා දෙකක් පමණක් වන නමුත් පසුගියදා  සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ ආකාරය එම ප්‍රතිපාදන දෙකටම අයත් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (04) අවධාරණය කෙරිණ .

ඒ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් අද  විභාගයට ගැනුණු අවස්ථාවේය.

ඒ අනුව නීතිඥයන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී ආකාරයට කටයුතු කර ඇති බවයි.  

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම අගවිනිසුරු නලින් පෙරේරා ඇතුළු  සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද ආරම්භ වූ අතර  පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙන්ම  මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13 ක් විසින් පෙත්සම්  ඉදිරිපත් කර තිබිණ.

එහිදී දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කන ඊෂ්වරන්  සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ, 

පාර්ලිමේන්තුවක නිල කාලය ආරම්භ වී වසර හතරහමාරක් ගෙවුණු පසු එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් යෝජනාවක් සම්මත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවක  එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය, ලෙස අවස්ථා දෙකක් යටතේ පමණක් පාර්ලිමේන්තුව විසුරවා හැරීමට ජනාධිපතිට හැකියාව ඇති බවයි. නමුත් සිරිසේන ජනාධිපති පාර්ලිමේන්තුව විසුරවා ඇත්තේ එම ප්‍රතිපාදන අනුව නොවන බවද  සඳහන් කෙරිණ.

මෙහිදී ජ්‍යෙෂ්ඨ නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කලේ අධිකරණය,ව්‍යවස්ථාදායකය හෝ විධායකය යන කිසිවකට ව්‍යවස්ථාවට ඉහළින් කටයුතු කිරීමට අවස්ථාවක් නොමැති බවයි. එහිදී සිංහරාසා එරෙහි නීතිපති නඩුවට අදාලව  සරත් එන්. සිල්වා අගවිනිසුරුවරයා ලබාදුන් තීන්දුවද ගෙන හැර දැක්වූ ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ සිරිසේන විධායක ජනාධිපති ලෙස අදාළ ගැසට් පත්‍රය නිකුත්කර ඇත්තේ ව්‍යවස්ථාව කඩකරමින් බවයි.

එසේම ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ කරුණු දක්වමින් සඳහන් කලේ 19 වන සංශෝධනය අනුව වසර හතරාමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරවා හැරීමට විධායකයට නොහැකි බවට  ද හින්දු පුවත්පතට සිරිසේන ජනාධිපතිම ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ද පිළිගෙන ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ අලගරත්නම් පෙන්වා දුන්නේ තමන්ට වාසි සහගත කොටස් පමණක් උපුටා දක්වමින් ව්‍යවස්ථාව අර්ථකථනය කල නොහැකි බවයි. ව්‍යවස්ථාව අර්ථ කථනය කල යුතුව ඇත්තේ තමන්ට වාසි ලෙස නොව ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

මෙම නඩුවට අදාළ වැඩිදුර විභාගය හෙට (05) දිනට යෙදී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න