Language Switcher

V2025

නාමල් කුමාරගේ මාධ්‍ය සංදර්ශන අවසන් !

ජනාධිපති සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් ගැන කියමින් මාධ්‍ය හමු පැවැත්වූ නාමල් කුමාර නමැත්තාට එම සිද්ධිය පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් පලකිරීමෙන් වළකින ලෙස දන්වා අධිකරණය ඊයේ දින ( 04) තහනම් නියෝගයක් නිකුත්කර ඇත.

ඊට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේ නාමල් කුමාර නමැත්තා අදාළ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීම සිය විමර්ශනවලට බාධාවක් බවය.

ඒ අනුව අධිකරණය විසින් අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.

දූෂණ විරෝධී බලකාය නමැති සංවිධානයක් නියෝජනය කරන බව පවසන නාමල් කුමාර සැලසුම් කෙරුණු බව කියන ඝාතන කුමන්ත්‍රණ පිළිබඳ මුලින්ම හෙළිදරව් කළේ 2018 වසරේ සැප්තැම්බර් 12 වන දින මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමිනි. ඉන් පසු විටින් විට නාමල් කුමාර නැමැත්තා මාධ්‍ය හමු පවත්වමින් අදාළ කරුණ පිළිබඳ විවිධ තොරතුරු මාධ්‍යයට ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් ඔහු ආරක්ෂක නිලධාරීන්ට සහ ඇතැම් දේශපාලනඥයන්ට ද චෝදනා එල්ල කළ අතර ඔහු අවසන්වරට මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණේ ජනවාරි 03 වෙනිදාය. ජනවාරි 02 වෙනිදා අධිකරණයට කරුණු වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාමල් කුමාර 2009 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳී පුහුණුව ලබන අතරවාරයේ පළා ගිය අයකු බවට කරුණු අනාවරණය වී ඇතැයි පැවසීය.

ඔහු නැවතත් 2011 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී පුහුණුව ලබන අතරවාරයේ පළා ගොස් තිබුණු බවට ද පරීක්ෂණවලදී අනාවරණය වී යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් දහයම සමත්ව ඇතැයි පවසමින් නාමල් කුමාර යුද හමුදාවට බැඳෙන අවස්ථාවේ ඉදිරිපත් කළ අධ්‍යාපන සහතිකය ව්‍යාජ එකක් බව පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇති අතර ඔහු සමත් වී ඇත්තේ විෂයයන් තුනක් පමණක් බවත් පොලීසිය එහිදී අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

නාමල් කුමාර නමැති පුද්ගලයා සහ ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ පරීක්ෂණයක් නොකරන්නේ ඇයි දැයි එහිදී මහේස්ත්‍රාත්වරයා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා සිටියේය. ඊට ප්‍රතිචාර දක්වමින් පොලීසිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පවත්වන බවය. නීතිය හා සාමය අමාත්‍යංශය මේ වන විට පවතින්නේද ජනාධිපති සිරිසේන යටතේය.