Language Switcher

V2025

විනිසුරුවරුන් පත්කිරීමේදී ව්‍යවස්ථාව කඩන්න එපා : සිරිසේනට දැනුම්දීමක් !

විනිසුරුවරුන් පත්කිරීමේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නැයි ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නීතිඥයෝ’’ සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
 
ඒකාබද්ධ ලියවිල්ලක් ඉදිරිපත් කරමින් ඔවුන් මේ බව ජනාධිපති සිරිසේන වෙත දැනුම්දී සිටින අතර එය පහත දැක්වේ.
 
අභියාචනාධිකරණයේ සභාපතිවරයා පත්කිරීම පමා කිරීම නිසා ඇති වී තිබෙන ව්‍යවස්ථාමය අවුල ගැන ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නීතිඥයෝ’’ සංවිධානය බලවත් කණස්සල්ලට පත්ව සිටී. විනිසුරුවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කි‍්‍රයාපරිපාටිය, ව්‍යවස්ථාවේ ලිඛිත අර්ථයත්, ආත්මීය අර්ථයත් ආරක්ෂා වන පරිද්දෙන් අනුගමනය කළ යුතුව තිබේ. එසේ තිබියදී, මේ සිද්ධ වෙන පමාව ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නීතිඥයෝ’‘ සංවිධානය සලකන්නේ, විධායකයේ හිතුමතේට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පටහැනිව යමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නොතකා හැරීමේ භයානක සංඥාවක් වශයෙනි. එබැවින්, ජනාධිපති සිරිසේන ඔහු විසින්ම දෙන ලද ප‍්‍රතිඥාවන් වෙත ආපසු හැරී, ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා වන හදිසි පියවර නොපමාව ගත යුතු බව අවධාරණය කිරීමට, ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නීතිඥයෝ’’ සංවිධානය මෙය අවස්ථාවක් කර ගනී.
 
අභියාචනාධිකරණයේ සභාපති තනතුරේ පුරප්පාඩුව ඇති වුණේ, අභියාචනාධිකරණයේ හිටපු සභාපතිවරයා 2019 ජනවාරි 9 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත්කරනු ලැබීමත් සමග ය. ඉන් පසුව, අභියාචනාධිකරණයේ විනිසුරුවරියක් සති දෙකක කාලයක් සඳහා අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපතිවරිය වශයෙන් ජනාධිපතිවරයා පත්කෙළේය. එම විනිසුරුවරියම, නැවත වරක්, 2019 ජනවාරි 24 වැනි දා, ‘ව්‍යවස්ථා සභාවේ’ අනුමැතියකින් තොරව, යළිත් වරක් වැඩ බලන සභාපතිවරිය වශයෙන් පත්කරනු ලැබිණ. ඊට කලින්, අභියාචනාධිකරණයේ නිත්‍ය සභාපති ධුරයට ජනාධිපතිවරයා නිර්දේශ කොට එවා තිබූ මෙකී විනිසුරුවරියගේ නම ‘ව්‍යවස්ථා සභාව’ අනුමත නොකළ බව, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නීතිඥයෝ’ සංවිධානය දනී. 
 
මේ සම්බන්ධයෙන් වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය ස්ථාවරය පැහැදිළි කිරීමට අපි කැමැත්තෙමු:
 
 
(අ) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 41 ඇ (1) වගන්තියට අනුව, පහත සඳහන් පත්කිරීම් සම්බන්ධයෙන් ‘ව්‍යවස්ථා සභාවේ’ අනුමැතිය අත්‍යාවශ්‍ය කෙරේ: අගවිනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරුන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ සෙසු විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිසමේ සභාපතිවරයා හැරුණු කොට සෙසු සාමාජිකයන්, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පාර්ලිමේන්තුවේ පරිපාලන කොමසාරිස්වරයා (ඔම්බුඞ්ස්මාන්* සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා. 
 
       
(ආ) 41 ඇ (2) වගන්තිය තවදුරටත් පෙන්වා දෙන පරිදි, ඉහත සඳහන් තනතුරුවල වැඩ බැලීම සඳහා පත්කෙරෙන කාලය දින 14 ඉක්මවන්නේ නම් ඒ පත්කිරීම සඳහා ද ‘ව්‍යවස්ථා සභාවේ’ අනුමැතිය අවශ්‍ය වන්නේය. එසේම, එහි අතුරුවිධානය මගින් පෙන්වා දෙන පරිදි, ඒ  ඕනෑම තනතුරක් සඳහා දින 14 ට නොවැඩි වැඩ බලන අනුක‍්‍රමික කාල වකවානු කිහිපයක් සඳහා පත්කෙරෙන විට ඒ සඳහා ද ‘ව්‍යවස්ථා සභාවේ’ අනුමැතිය අත්‍යාවශ්‍ය වන්නේය. එකී විධිවිධානය මෙසේ ය:
 
41 ඇ (1): ‘‘ජනාධිපතිවරයා විසින් සභාවට කරන ලද නිර්දේශයක් මත සභාව විසින් අනුමත කර ඇත්නම් මිස, මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් කිසිම ධුරයකට ජනාධිපතිවරයා විසින් කිසිදු තැනැත්තෙකු පත්කරනු නොලැබිය යුත්තේය.
 
(2) මේ ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන, මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් යම් ධුරයක දින දහහතරකට වැඩි කාලයක් වැඩ බැලීම සඳහා පත්කරනු ලබන යම් තැනැත්තෙකු සම්බන්ධයෙන් ද අදාළ විය යුත්තේය.
 
එසේම තවද, දින දහහතරක් නොඉක්මවන අනුක‍්‍රමික කාල සීමා සඳහා එවැනි කවර හෝ ධුරයක වැඩ බැලීමට යම් තැනැත්තෙකු පත්කිරීම ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශ මත සභාව විසින් අනුමත කරනු ලැබ ඇත්නම් මිස, නොකළ යුත්තේය’’. 
 
 
(ඇ) වැඩ බලන අගවිනිසුරුවරයෙකු හෝ වැඩ බලන අභියාචනාධිකරණ සභාපතිවරයෙකු පත්කිරීමට අදාළ විශේෂ විධිවිධාන ව්‍යවස්ථාවේ 109 (1) මගින් දක්වා තිබේ. ඒ අනුව, වැඩ බලන පත්වීමක් කළ හැක්කේ, අගවිනිසුරුවරයා හෝ අභියාචනාධිකරණයේ සභාපතිවරයා, ‘‘රෝගාතුර වීම නිසා හෝ ශ‍්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා හෝ ස්වකීය ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍යය ක‍්‍රියාත්මක කිරීමට සහ ඉටු කිරීමට අග‍්‍රවිනිශ්චයකාරවරයා හෝ අභියාචනාධිකරණයේ සභාපතිවරයා හෝ තාවකාලිකව අපොහොසත් වේ නම්’’ පමණි. වෙනත් වචනවලින් කිවහොත්, වැඩ බලන තනතුරක් සඳහා පත්කිරීමට, අභියාචනාධිකරණයේ ‘නිත්‍ය’ සභාපතිවරයෙකු/වරියක සිටිය යුත්තේය. ඔහුට/ඇයට තම කාර්ය සහ කර්තව්‍යයන් ක‍්‍රියාත්මක කිරීමට සහ ඉටු කිරීමට තාවකාලික නොහැකියාවක් ඇතිව තිබිය යුත්තේය.
 
 
(ඈ) 109 (1) වගන්තියේ සඳහන් තවත් විශේෂ විධිවිධානයක් වන්නේ, එවැනි වැඩ බලන තනතුරකට පත්කිරීමක් ‘ව්‍යවස්ථා සභාවේ’ අනුමැතියට යටත් වන බව ය. ඒ අනුව, 41 ඇ (2) වගන්තියේ සඳහන් දින 14 කාල වකවානුව, වැඩ බලන අගවිනිසුරුවරයෙකු හෝ වැඩ බලන අභියාචනාධිකරණ සභාපතිවරයෙකු සම්බන්ධයෙන් අදාළ වන්නේ නැත. වෙනත් වචනවලින් කිවහොත්, ඔවුන් දෙන්නා සම්බන්ධයෙන් දින 14 නොඉක්මවන වැඩ බැලීමේ තනතුරකට පත්කිරීම සඳහා වුව ද ‘ව්‍යවස්ථා සභාවේ’ අනුමැතිය අවශ්‍ය කෙරේ. 
 
 
(ඉ) මෙයින් කියැවෙන මුඛ්‍ය කාරණය වන්නේ, ජනාධිපතිවරයා විසින් අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති තනතුරට කෙනෙකු පත්කරනු ලැබීමට මත්තෙන්, එම අභියාචනාධිකරණයේ නිත්‍ය සභාපතිවරයෙකු සිටිය යුතු බව ය. එසේම, සටහන් කළ යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ, අභියාචනාධිකරණයේ වලංගු භාවය සහ සුජාත භාවය තිබීමට නම්, ව්‍යවස්ථාවේ 137 වැනි වගන්තියේ සඳහන් පරිදි, එම අභියාචනාධිකරණයට සභාපතිවරයෙකු සහ 6 දෙනෙකු සහ 11 දෙනෙකු අතර වන ප‍්‍රමාණයකින් යුත් විනිසුරු මඬුල්ලක් ද සිටිය යුතු බවයි.
 
 
මේ අනුව බලන විට, වරක් දින 14 ක් සඳහා ද, නැවත වරක් තවත් දින 14 ක් සඳහා ද අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපතිවරිය වශයෙන් යම් විනිසුරුවරියක් පත්කිරීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලය ඉක්මවා යාමකි.
 
මේ පුරප්පාඩුව පිරවීම සඳහා ජනාධිපතිවරයා ඊට සුදුසු නිසි අපේක්ෂකයන්ගේ නම් ‘ව්‍යවස්ථා සභාව’ වෙත එවීමට අසමත්ව ඇති බව, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නීතිඥයෝ’ සංවිධානය කණගාටුවෙන් යුතුව පෙන්වා දෙනු ලැබේ. එසේම මේ කාරණය සම්බන්ධයෙන්, මොනම හෝ නෛතික පදනමකින් තොරව පසුගිය පෙබරවාරි 6 වැනි දා පාර්ලිමේන්තුවේදී ‘ව්‍යවස්ථා සභාවට’ එරෙහිව ජනාධිපතිවරයා ප‍්‍රහාරාත්මක ප‍්‍රකාශයක් කිරීම ගැනත් අප දැඩි කණස්සල්ලට පත්ව සිටින බව මෙහිදී සඳහන් කළ යුතුය. එසේම, එවැනි අසාධාරණ ප‍්‍රහාරයක්, ව්‍යවස්ථාවේ 33 (1) (අ) වගන්තියේ සඳහන් පරිදි, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද, ආරක්ෂා කරන බවට ද වගබලා ගැනීම තම මූලික කාර්යය කර ගත යුතු රාජ්‍ය නායකයෙකුට තරම් නොවේ.
 
ඒ සමගම, ‘ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය’ තමන් තෝරා ගත් විනිසුරුවරියක් මේ තනතුර සඳහා පත්කර ගැනීමට ඉදිරිපත් වීමත් අපේ සැලකිල්ලට යොමුව තිබේ. එවැනි තැරැව්කාර ක‍්‍රියාවක යෙදීම ‘ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ’ කීර්ති නාමයට නුසුදුසු වෙනවා සේම ඊට අතිශය හානිදායක ද වන්නේය.
 
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සාරයට සහ අභිලාෂයට අනුගතව, ව්‍යවස්ථාවෙන් පැවරී ඇති ස්වකීය වගකීම ඉටු කිරීම සඳහා, මෙකී පත්කිරීම් සඳහා වන කඩිනම් පියවර ගන්නා ලෙසට ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නීතිඥයෝ’’ සංවිධානය ජනාධිපතිවරයාගෙන් උදක්ම ඉල්ලා සිටී. 
 
 
‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා නීතිඥයෝ’’ සංවිධානය වෙනුවෙන්,
 
ලාල් විජේනායක
කේ. එස්. රත්නවේල්
ජේ. සී. වැලිඅමුණ
ලක්ෂාන් ඩයස්
සුදත් නෙත්සිංහ
සුනිල් ජයරත්න
හර්ෂිකා නදීෂාන්