Language Switcher

V2025

ඉටිකොළ, පැළලි ගහගෙන වෙළෙඳාම් කල කාලය අවසන් - පාඨලී

දේශපාලනඥයින්ගේ දේ දේශපාලනඥයින්ට දෙන අතර ව්‍යාපාරිකයින්ගේ දේ ව්‍යාපාරිකයන් ගත යුතු බවත් රට පුරා සුපිරි වෙළෙඳ සංකීර්ණ ඉදිවෙන පසුබිමේ  තවදුරටත් රටේ ඉටිකොළ, පැළලි ගහගෙන වෙළෙඳාම් කල කාලයද අවසන් බවත්  මහානගර හා බස්නාහිර සංවර්ධන  අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ  බණ්ඩාරගම පොදු වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 

එම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස රනිල් වික‍්‍රසිංහ මහතා එක්වූ අතර අමාත්‍ය අකිල විරාජ කාරියවසම්, අමාත්‍ය අජිත් පී. පෙරේරා, පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ යන මහත්වරුන් ඇතුලූ පිරිසක් ද සහභාගී විය.

 බණ්ඩාරගම පොදු වෙළෙඳ සංකීර්ණය රුපියල් මිලියන 212 ක ආයෝජනයකින් ඉදිකරන ලද අතර මෙහි කඩ කාමර සංඛ්‍යාව 24 කි.  බිම් මහලද ඇතුළුව මෙය මහල් 03 කින් සමන්විතය. මෙහි දෙවන සහ තෙවන මහල් කාර්යාල පහසුකම් හෝ වාණිජ කටයුතු සඳහා කුලී පදනම යටතේ ලබාදීමට නියමිතය.

එහිදී වැඩිදුරටත් අදැහස් දැක්වූ අමාත්‍යවරයා, 

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ අලූතින් අධිවේගී මාර්ග පද්ධතියක් බණ්ඩාරගම හරහා ගමන් කරනවා. කලින් තීරණය කර තිබුණේ බණ්ඩාරගම සිට රත්නපුර දෙසට මෙම අධිවේගී මාර්ගය ගෙන යාමටයි. එය අපි වෙනස් කර කහතුඩුවේ සිට ගෙනයාමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එක් පැත්තකින් බණ්ඩාරගම ප‍්‍රදේශයට, දකුණු පළාතට ඒ වගේම තව නොබෝ දිනකින් කටුනායක නිදහස් වෙළෙඳ කලාපය, කටුනායක ගුවන් තොටුපල දක්වාම බණ්ඩාරගම සිට ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. තව කෙටි දිනකින් නව කැළණි පාලම හරහා නව වරාය නගරයට සහ කොළඹ නගරයට ගමන් කිරීමේ ශක්තිය ලැබෙනවා. මේ ඓතිහාසික රයිගම් රාජධානිය ඒ සියලූ ශක්තීන්ගෙන් යුතු උප නගරයක් ලෙස ඉදිරි කාලයේ වැඩිදියුණු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරන බව අපි ඔබ සැමට ප‍්‍රකාශ කළ යුතුයි.

ඒ වගේම අපේ අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව අපි ආදායම් උපදවන තැන් හැටියටයි පවත්වාගෙන යන්නේ. අපි මේ පසුගිය අවුරුදු 3 ඇතුළත නාගරික සංවර්ධන අධිකාරියේ ආදායම තුන් ගුණයකින් වැඩිකර තිබෙනවා. ලාභය 4 ගුණයකින් වැඩිකර තිබෙනවා. ඉඩම් සංවර්ධන සංස්ථාවේ ආදායම තුන් ගුණයකින් වැඩිකර තිබෙනවා. පාඩු වෙලා තිබූ එම ආයතනය අද ලාභ ලබන ශක්තිමත් ආයතනයක් බවට පත් කර තිබෙනවා. ආදායම් උපදවන රාජ්‍ය ආයතන අපි ඇතිකර භාණ්ඩාගාරයට බර නැති, රටට ණය නැති ආයතන අපි හදලා තිබෙනවා. ඒ වගේම අපි වෘත්තීයවේදීත්වය තහවුරු කර තිබෙනවා. මේ කිසි තැනක දේශපාලන පන්දමට නෙමෙයි කුසලතාවයට මුල්තැන දීලා ඉදිරියට යන්න පුලූවන් ආයතන පද්ධතියක් අපි හදලා තිබෙනවා. ඒ නිසා මේ හැම සංවර්ධනයක්ම ගැන අද අපට ආඩම්බරයි. බලහත්කාරය නැහැ. සංවර්ධනයේ ප‍්‍රතිලාභය ඍජුවම මහජනතාවට ලැබෙන කි‍්‍රයාවලියක් ආරම්භ කර තිබෙනවා. ඒ නිසා අපි අලූත් සමාජයට හුරු විය යුතුයි. ඉටිකොළ, පැළලි ගහගෙන කඩවල වෙළඳාම් කළ යුගය වෙනුවට හැම තැනම දැන් සුපිරි වෙළෙඳසැල් ඉදිවෙනවා. ඒවත් සමග තරඟකර හැකි ව්‍යාපාරික පන්තියක් අපට උවමනා කර තිබෙනා. ඒ නිසා මේ ප‍්‍රදේශයේ උගත් ජනතාව, ඒ වගේම මැද පන්තියේ ජනතාවට ගැලපෙන උචිත බණ්ඩාරගමක් අපි ඇති කළ යුතුයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා නව බස්නැවතුම්පල පැත්තෙන් පානදුර පාරත්, ඒ වගේම කලූතර පාරත් යා කරන නව මාවතක් මෙම මධ්‍ය මහා විද්‍යාලය ලඟින් ඇතිකර එකම නාගරික සංකීර්ණයක් හැටියට මේ ප‍්‍රදේශය දියුණු කිරීම සඳහා වැඩපිළිවෙලක් අපි ඉදිරියේ දියත් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මේ රටේ ඉදිරියට යන්න නම් ධනය උත්පාදනය කරන්න නම් ශක්තිමත් ව්‍යාපාරික පන්තියක්  ඕනැ. අද මේ රටේ කතා බහක් ඇතිවෙලා තිබෙනවා දේශපාලන පන්තිය අසාර්ථකයි. ඒ නිසා ව්‍යාපාරිකයෝ දේශපාලනය කළ යුතුයි කියලා. අපේ ව්‍යාපාරික ප‍්‍රජාවේ නොයෙක් දෙනා ඇවිත් කියනවා රට හදන මං ගැන.  අපි එකක් මතක තියා ගත යුතුයි, රාජ්‍ය අංශයේ ආයතන ගෙනයාමයි, පෞද්ගලික අංශයේ ආයතන ගෙනයාමයි කියන්නේ දෙකක්. රාජ්‍ය අංශයේ කලාව සමහරවිට පෞද්ගලික අංශයේ සාර්ථක වෙච්ච ව්‍යාපාරිකයන්ට කරගන්න බැරිවෙයි. ඒ නිසා අද මේ රටේ සංවාදය ඇතිවීම ඉතාම හොඳයි. මොකද ඇමරිකා එක්සත් ජනපදයෙත් ජනාධිපතිධූරයට ව්‍යාපාරිකයෙක් පත් වුණා. එතුමා එක්සත් ජනපද ආණ්ඩුව ව්‍යාපාරික ආයතනයක් හැටියට පාලනය කරන්න උත්සාහ කරනවා. ඒ නිසා ලොකු ප‍්‍රශ්න ගණනාවකට එතුමා මුහුණ දී තිබෙනවා. මේ රජයක් කරගෙන යනවා කියන එකයි පෞද්ගලික ව්‍යාපාරයක් කරගෙන යනවා කියන එකයි බරපතල වෙනසක් තිබෙනවා. කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා ශක්තිමත් ව්‍යාපාරික පන්තියක්. ඒ වගේම දේශපාලනයයි ව්‍යාපාරයි අතරේ තිබෙන මේ සම්බන්ධයත් අපි තේරුම් ගත යුතුයි. හුඟ දෙනෙක් අපි දන්නවා මීට දශක හත අටකට කලින් දේශපාලනය පටන් ගන්න කාලේ ධනවත් ප‍්‍රභූ පන්තියේ පිරිස් ඒ අය තමයි දේශපාලනය කළේ. ඒ අයගේ ඉඩකඩම් විකුණලා තමයි දේශපාලනය කළේ. එස්.ඩබ්.ආර්. බණ්ඩාරනායක මැතිතුමා  56 ඡන්දෙ ඉල්ලූවේ එතුමාගේ රොස්මිඞ් පෙදෙසේ තිබූ නිවස රුපියල් අසූපන්දහසකට උගස් කරලා. ඒ වගේම ඩඞ්ලි සේනානායක මහත්මයා අභාවප‍්‍රාප්ත වන විට එතුමාගේ ගිණුමේ තිබුණේ ඉතාමත් සුළු මුදල් ප‍්‍රමාණයක්. ඒ කාළේ එතුමන්ලා දේශපාලනය කළේ තමන්ගේ දේපල ඉදිරියට තියලා. නමුත් අද දේශපාලනයට ඇවිත් ව්‍යාපාරිකයෝ වෙන්න උත්සාහ කරන අය ඉන්නවා. ඒ දේශපාලනය හරහා හම්බුකර ගන්න පුලූවන්ද කියල බලන අය ඉන්නවා. මම හිතන්නේ මේ නිසා මේරටේ ඉදිරිකාලයේදී එක් පැත්තකින් ව්‍යාපාරිකයෝ දේශපාලනයට එන්න හදනවා. අනෙක් පැත්තෙන් දේශපාලකයෝ ව්‍යාපාරිකයෝ වෙන්න යනවා. ඒ නිසා අපි මේ අතර සමබරතාවයක් ඇතිකර ගත යුතුයි.

අපි දැක්කා මේ රටේ භීෂණ යුගයක් තිබුණා 88-89. ඒ වෙලාවේ දේශපාලනඥයින්ට ආරක්‍ෂාවට තුවක්කු දෙන්න උනා. මිනිස්සු බය වෙලා හිටියේ. ටික දවසකින් තුවක්කුකාරයෝ කල්පනා කළා ඇයි මේ දේශපාලනය අපි කළහම මක් වෙනවාද කියලා. ඊට පස්සේ ඒ මැරයෝ කියලා හඳුනාගත්ත පිරිස දේශපාලන පන්තියක් බවට පරිවර්තනය උනා. දැන් අපට ඒකේ ප‍්‍රතිපළ  මේ රටේ හැමතැනකම පේන්න තිබෙනවා. ඒ නිසා අපි  මේ රට ඉදිරියට ගෙනයන්න නම් ඉතා පැහැදිලිව මේ ව්‍යාපාරිකයින්ගේ කටයුත්ත ව්‍යාපාරිකයින්ට භාර දී දේශපාලකයින්ගේ කටයුතු දේශපාලකයින් කරගෙන යා යුතුයි මිත‍්‍රවරුනි. ඒ සඳහා වෘත්තීය මට්ටමේ දේශපාලන ක‍්‍රමවේදයක් රටට අවශ්‍යයි. අද මේ කඩවලින් නිර්මාණය වන අපේ ව්‍යාපාරිකයින් ඔවුනගේ ජීවිත අලූත් වෙනවා වගේම, ආර්ථිකයට අලූත් යමක් මෙමගින් එක් වනවා වගේම ඉදිරියේ ගොඩනැගෙන බණ්ඩාරගම පුවරය රටේ ආර්ථිකයට ශක්තිමත් පසුබිමක් මේ නාගරික සංවර්ධන අධිකාරියෙත් රාජ්‍යයේ සෙසු ආයතනවලත් මැදිහත්වීමෙන් ලැබෙයි කියා යැයි පැවසීය.