Language Switcher

V2025

2014 දී මේ රට මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් - තලතා

රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න බන්ධනාගාර නිලධාරීන් පොලිස් නිලධාරීන් ඔය අපරාධකාරයෝ එක්ක ඩුබායි රටේදී අත් අඩංගුවට පත්ව ඇති බවත් 2014 වන විට ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්කර තිබු බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ පවසයි.

අමාත්‍යවරිය මේ බව සඳහන්කර සිටියේ සාම විනිසුරුවරුන් සදහා පත්වීම් පිරිනැමීමේ උත්සවයකට රත්නපුර කහවත්ත පනාවැන්න ප්‍රදේශයේදී ඊයේ (11) එක්වෙමිනි .

මෙහිදි සාම විනිසුරු පත්වීම් 220 ක් ලබා දෙන ලදී .1804 පෙබරවාරි 04 වනදි ඉංග්‍රීසින් මෙරට පාලනය කරන කාලයේදි මුලින්ම සාම විනිසුරු පත්වීම් ලබා දී තිබේ.1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ 4 වන වගන්තිය අනුව මෙම සාම විනිසුරු පත්වීම් ලබාදිම සිදු කෙරිණි.

එහිදි තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

ඔබ අලුතෙන් ලබන මේ තනතුරේ ඉතා උවමනාවෙන් වැඩ කරයි කියලා අපි හිතනවා.මේ පත්වීම් ලබන අය කටයුතු කරන හැටි පිළිබදව සමහර අවස්ථාවල අපිට සතුටු වෙන්න බැහැ.සමථ මණ්ඩලවල අද වන විට සමථකරුවන් අට දහසක් පමණ ඉන්නවා .හදිසි මරණ පරීක්ෂකවරුන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා.මේ සාම විනිසුරු පත්වීම් දෙන කොට හැම විටම අපි දෙන්න කියලා උපදෙස් ලබාදීලා තියෙන්නේ ශීලාචාර පිළිගත්ත අයට දෙන්න කියලා .මේ ගෞරවණිය සේවය කරන්න අවස්ථාවක් දෙන කොට ඔබ සහතික කරන ලිය කියවිලි වල විශාල වලංගු භාවයක් තියෙනවා.ඒ වලංගු භාවය රදා පවතින්නේ මේ තනතුරේ ගරුත්වය ආරක්ෂා වෙන විදිහට වැඩ කළොත් විතරයි.අපි දන්නවා සමාජයේ නොගැලපෙන අයටත් සමාජයේ විෂමාචාර වැඩ කළ අයටත් මේ තනතුරු දීලා තියෙනවා අපි පසුගිය කාලයේ මේ වගේ තනතුරු කිහිපයක් නැවැත්තුවා.

සමහර වෙලාවට නීති විරෝධී මත් ද්‍රව්‍ය ව්‍යාපාරවල යෙදුනු අයටත් මේ තනතුර ලබාදීලා තියෙනවා.අපි ඒවා නවත්වලා තියෙනවා .මේකේ අවශ්‍යතාවයට හොයලා බලන්නේ දේශපාලනය නොවෙයි.සමාජයේ හොදට ඉන්න අයයි මේවාට තෝරා ගන්නේ .දැන් සමථ මණ්ඩල සදහා පන්සලේ හාමුදුරුවෝ විදුහල්පතිතුමා වැනි වැනි අය පත් කරන්නේ.දැන් සමථ මණ්ඩලවලට රුපියල් ලක්ෂ පහක් දක්වා වටිනාකමක් තියෙන ඒවා විසදන්න පුළුවන්.සමහර අය මේ තනතුරුවල තියෙන වටිනාකම දන්නේ නැහැ.ඒවාගේ වගකීම දන්නේ නැහැ.ළගදී නීතියක් ගේනවා .

සාම විනිසුරු තනතුරු අධිකරණ කලාප වෙනුවට මුළු දිවයිනටම දෙන එක හැරුණහම පරිපාලන දිස්ත්‍රික්කයට හා පරිපාලන කොට්ඨාශයට එහෙමත් නැතිනම් මේ සාම විනිසුරු ධූර ලබා දෙන තත්වයක් ඇති කරන්න .මේවා කරන්නේ ජනතාවගේ පහසුවට.අද සිංහල කම ගැන බෞද්ධකම ගැන ජාතිය ගැන මහ ලොකුවට කථා කරනවා.හැබැයි ඒ කථා කරන ගමන්ම ඒ අය සමාජයේ ඉතාම නරක විදිහට හැසිරෙන නීති විරෝධී වැඩ කරන අයට බලපත්‍ර ලබා දීපු යුගයකුත් තිබිලා තියෙනවා.අද අපේ රට ජාත්‍යන්තර අපරාධ කාරීන් බවට පත් වෙලා තියෙනවා.ඊයේ පෙරේදා සමහර සිද්ධි නිසා .2015 ට ඉස්සෙල්ලා අපේ රට හොද පැත්තකට හැරිලා තිබුණේ නැහැ.අපි යුද්ධය අවසන් වුණා කියලා සතුටු වුණා.හැබැයි අපි මත් ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට මේ රට 2014 වෙන කොට පත් කරලා තිබුණා.

අපි ජාත්‍යන්තරයට ඔළුව නවන්න ඕන නැහැ.අපි හොද පෞඪ ඉතිහාසයක් තියෙන ජාතියක් .සමහර වෙලාවට මේ රටේ තියෙන නීති රීති ඔය දියුණුයි කියන රටවල් වල දැන් තමයි ක්‍රියාත්මක වෙන්නේ.මේ ක්‍රම අපේ රට තුළ වසර 200 ක පමණ තුළ තියෙනවා.මේ හැම එකක්ම නැවතිලා තිබුණු යුගයක් තිබුණා.මේ උප නියෝජිත කියලා මේ වතුකරයේ එහෙම ඉන්නවා.සමහර අය පොලොන්නරුවේ අය ඇවිල්ලා මේ වතුකරයේ අය පිටරට යවනවා ඒජන්සි තියෙනවා කියලා.අන්තිමට යවපු කෙනෙක් නැහැ.දරුවෝ ගැන වගකීමක් නැහැ.මේකට තමයි මිනිස් ජාවාරම කියන්නේ.මිනිස්සු හොරෙන් යවනවා.මේවා වැඩි වුනු නිසා මේ රට මිනිස් ජාවාරමට ලක් වු රටක් ලෙස මේ ධර්මද්වීපය ඉතිහාසයේ ලෝක සිතියමේ තිතක් තිබ්බා.ඊට පස්සේ පහසුවෙන්ම මත් ද්‍රව්‍ය එහාට මෙහාට යන කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලා තියෙනවා.

ඇත්තටම කියන්න කණගාටුයි .ඔය අපරාධකාරයෝ එක්ක බන්ධනාගාර නිලධාරීන් පොලිස් නිලධාරීන් අද ඩුබායි රටේදී අත් අඩංගුවට පත් වෙලා තියෙනවා.එතකොට මේ බන්ධනාගාර නිලධාරීන් පොලිස් නිලධාරීන් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න .අද ඒ තත්වයට පත් වෙලා තියෙනවා.අපි දවසින් දවස ඉස්සරහට ආව රටක් ආපහු පස්සට යන්න පටන් අරන් තියෙනවා.මේ පදවිය ලබන ඔබට සමාජයේ වගකීම් ගොඩාක් තියෙනවා.පන්සල පල්ලිය කෝවිල එක්ක එකතු වෙලා රටට සමාජයට හොද දේ කරන්න ඔබ උත්සාහ ගන්න ඕන.මම අධිකරණ ඇමති විදිහට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා .නීතිය අධ්‍යාපනයට ඇතුළු කරන්න අධ්‍යාපන විෂය ධාරාවට ඇතුළු කරන්න ක්‍රියා කලා.ඒකට හේතුව තමයි බන්ධනාගාරයට ගියාම වැඩි පුරම ඉන්නේ ඉස්කෝලේ නොගිය අය.ඒ වගේම නීතිය නොදැනුවත්කම නිසා හිරේ විලංගුවේ වැටෙන ගොඩාක් අය ඉන්නවා.පවුල් විනාශ වෙලා අනික් පැත්තෙන් තියෙන්නේ කණගාටුදායක තත්වයක්.

රටේ නීතියට යටත් කියන එක පාසලේ 6 7 8 යන වසරවලදී දරුවන්ට කියලා දිය යුතුයි. මේ නීතිය එදා ඉදලම පැවත ගෙන එනවා.මේවා ඔක්කොම අපිට කියන්න පුළුවන් 9 10 11 වසරවලදී රටේ අපරාධ මොනවාද දණ්ඩ නීති සංග්‍රහය හොරකම කියන්නේ මොකක් ද කියලා අවබෝධයක් ලබා ගන්න පුළුවන් .කවුරුත් දන්නේ නැහැ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න තරුණ ජීවිත ගණනාවක් තියෙනවා.ග්රෑම් දෙකක් කියන්නේ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදින්න වෙන දඩුවමක් කියලා කවුරුවත් දන්නේ නැහැ.මත් ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදෙන එක එල්ලලා මරන්න පුළුවන් වරදක් කියලා සමහර අය දන්නේ නැහැ. දැන් එල්ලලා එරන්නත් අපි කථා කරනවා.1976 චන්ද්‍රපාල කියන පුද්ගලයා එල්ලලා මැරුවායින් පස්සේ අපි ජාත්‍යන්තර නීතිය එක්ක එකගතාවයකට ඇවිල්ලා තියෙනවා එල්ලා මරන්නේ නැහැ කියලා යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

මෙම අවස්ථාවට සබරගමුව පලාත් සභා මන්ත්‍රී ඉෆ්ලාර් යෙහියා, කලවාන ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සරත්චන්ද්‍ර රාමනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.