Language Switcher

V2025

නාගනන්දට වාරණයක් !

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය වසර 03ක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) නියම කළේය.

අගවිනිසුරු නලින් පෙරේරා, සිසිර ද ආබෘ යන විනිසුරුන්ගේ එකඟත්වය ඇතිව ‍ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන විසින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ අභියාචනාධිකරණයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කුට එරෙහිව කර ලද පැමිණිල්ලකට අනුව පැවති විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

2015 වසරේ මැයි මස 23 දා එවකට අභියාචනාධිකරණ සභාපති විනිසුරු වශයෙන් කටයුතු කළ විජිත් මළල්ගොඩ ඉදිරියේ පැවති රේගු නඩුවකදී විනිසුරුවරයාව අපහසුවට පත්වන අයුරින් නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයේ ප්‍රකාශයක් සිදු කලේ යැයි චෝදනා කරමින් නාගානන්ද කොඩිතුවක්කු ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

එම චෝදනාවලට තමන් නිවැරදි කරු බව ඔහු සඳහන් කර තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු ප්‍රසන්න ජයවර්ධන කියා සිටියේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු සිදුකල මෙම ප්‍රකාශය ඉතා බරපතළ එකක් බවත් ඒ තුළින් අධිකරණ ක්‍රමය කෙරෙහි පවතින විශ්වාසය පලුදු වීමට හේතුවන බවත් ප්‍රකාශ කළේය.

නීතිඥ කොඩිතුවක්කු විසින් විනිසුරු විජිත් මලල්ගොඩ වෙත එල්ල කළ චෝදනාව පදනම් විරහිත අසත්‍ය චෝදනාවක් බව පෙන්වාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජයවර්ධන ඒ තුළින් ඔහු නීතිඥවරුන්ගේ ආචාරධර්ම සංග්‍රහයේ 60 සහ 61 වන වගන්ති උල්ලංඝනය කර ඇති බව ද කියා සිටියේය.

එහෙත් ඉකුත් 13 වනදා මෙම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී තමන් විසින් විනිසුරු විජිත් මළල්ගොඩ වෙත එල්ල කළ චෝදනා කොන්දේසි විරහිතව ඉල්ලා අස්කර ගන්නා බවත් ඒ පිළිබඳව කණගාටුව පළ කරන බවත් නාගානන්ද කොඩිතුවක්කු නීතිඥවරයා විසින් ප්‍රකාශ කර තිබුණත් ඔහු විසින් කර ඇති ප්‍රකාශය බරපතළ භාවය සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුව ඇති බවද විනිසුරු ජයවර්ධන කියා සිටියේය.

ඒ අනුව අධිකරණ සංවිධාන පනතේ 42(2) වගන්තිය යටතේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව අදාළ චෝදනාවට ඔහු වරදකරු කර ඔහුගේ නීතිඥ භාවය වසර තුනකට තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන බව ද ප්‍රසන්න ජයවර්ධන සිය නඩු තීන්දුවෙන් කියා සිටියේය.