වෘත්තිය සමිතියක් ආරම්භ කිරීම හේතුවෙන් සේවයෙන් ඉවත් කළ ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන් 15 දෙනා නැවත සේවයට බඳවා ගැනීමට සහ එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා සේවයෙන් ඉවත් කිරීමට ස්වර්ණවාහිනි ආයතනයේ පාලනාධිකාරිය එකඟ වී ඇති බව වාර්තා වන අතර ඒ අනුව දින දෙකක් පුරා පැවති සේවක විරෝධතාව අවසන් බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ස්වර්ණවාහිනී ආයතනයේ වෘත්තීය සමිති නියොජිතයන් හා ආයතනයේ සභාපති ඇලෙක්ස් ලෝවෙල් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මේ සිදුව ඇත.
එසේම විරෝධය දැක්වූ සේවක කකණ්ඩායමට සහය පලකරමින් අමාත්‍ය රවී කරුණානායක සහ ජනතා විමුක්ති පෙරමුණේ අන්තර් සමාගම් සේවක සංගමය නියෝජනය කරමින් වසන්ත සමරසිංහ ද ඊට සහභාගී ව ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය එළඹෙන සිකුරාදා දිනයේදි ලබාදෙන බවට ස්වර්ණවාහිනි පාලනාධිකාරිය සඳහන් කර ඇති බවත් එදිනට ස්ථිර විසඳුමක් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරම්භ කරන බවත් සේවක වෘත්තීය සමිතියේ තීරණය බවත් දැනගන්නට ලැබේ.
ස්වර්ණවාහිනියේ සේවකයන් විසින් ඊයේ (18දා) වෘත්තිය සමිතියක් ආරම්භ කණ අතර එම වෘත්තීය සමිතිය ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළ සේවකයන් 15 දෙනෙකුගේ සේවය තහනම් කිරීමට එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා කටයුතු කිරීමත් සමග ස්වර්ණවාහිනයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
ස්වර්ණවාහිනී ආයතනයේ සේවය කරන සේවකයන් 300කගෙන් 270ක පමණ පිරිසක් මෙම වෘත්තීය සමිතිය හා එක්ව තිබේ. වැඩ තහනම් කර ඇති පිරිස අතර එම වෘත්තීය සමිතියේ සභාපති, ලේකම් ඇතුළු නිලධාරී මණ්ඩලය හා ඊයේ (19) ඔවුන් පැවැත්වූ රැස්විමේදී අදහස් ප්‍රකාශ කළ පිරිසද වෙයි.
සේවය තහනම් කර ඇති පිරිස පොලීසියට පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කළ අතර ඔවුන් කම්කරු කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡාවකටද එක්විය.
ස්වර්ණවාහිනී ආයතනයේ මාධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලය ස්ථාපිත කල මේ වෘත්තීය සමිතිය මෙරට පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතනයක ස්ථාපිත පළමු වෘත්තීය සමිතිය වෙයි.

