මගේ බිරිඳ ධර්ම චක්‍ර‍යවත්, නැව් සුක්කානමවත් දන්නෙ නැහැ !

මගේ බිරිඳ ධර්ම චක්‍ර‍යවත්, නැව් සුක්කානමවත් දන්නෙ නැහැ !

එම්. ආර්. මසහිමා හසලක කොළොන්ගොඩ පදිංචි 47හැවිරිදි මුස්ලිම් කාන්තාවක්. ඇය අධි රුධිර පීඩනයෙන් සහ ඇදුමෙනුත් පෙළෙනවා. පසුගියදා මහියංගනය පොලිසිය හසලකදී ඔත්තුවක් මත ඇය අත්අඩංගුවට ගත්තේ ඇය ඇඳ සිටි ගවුමේ බුදු දහමට අපහාස වන පරිදි ධර්ම චක්‍ර‍යේ රුව ඇතුළත් ගවුමක් ඇඳ සිටියේ ය යන චෝදනාව මතයි. එහෙත්, මේ රූපය ධර්ම චක්‍ර‍ය නොව නැව් සුක්කානමක් බව බොහෝ අය විසින් පෙන්වා දෙනු ලැබුවා. එහෙත්, මසහිමා තවමත් ඉන්නේ අත්අඩංගුවේයි.

පහත දැක්වෙන්නේ ශමීලා යූසුෆ් අලි විසින් මසහිමාගේ සැමියා වන පෙදරේරුවරයකු යටතේ කුලී කම්කරුවකු ලෙස රැකියාව කරන අබ්දූල් මුනාෆ් සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවක පරිවර්තනයයි.

මොකක්ද වුණේ?

මම කොළඹ රස්සාව කරමින් හිටියෙ. මැයි 16දා එක පාරට ම මගේ බිරිඳ මහියංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව කියමින් මට කෝල් එකක් ලැබුණා. ඇය මොන වරදක් කරලා ද කියා මා දැන හිටියෙ නැහැ. මම කලින් දවසෙ ඇයට වියදමට සල්ලි යැව්වා. එයා අහිංසකයි. සනීපත් නැහැ.

ඔබ ඊළඟට කළේ මොකක් ද?

මම ඉක්මණින් ම බස් එකක නැගලා ගෙදර ආවා. එතකොටයි මම විස්තරේ දැනගත්තේ. කලින් දවසෙ ඇය හසලක ඉස්පිරිතාලෙට ගිහින් තිබුණා. වෙනදා වගේ ම ඇය අබායා එකක් (මුහුණ ආවරණය නොකරන) ඇඳගෙන ගිහින් තිබුණෙ. පාරෙදි මිනිසුන් ඇයට අබායා එක අඳින්න එපා කියා තර්ජනය කර තිබුණා.

ඊළඟ දවසෙ ඇය මා එවූ සල්ලි අරගන්නට බැංකුවට ගිහින් තිබුණා. මිනිසුන් කරදර කරන නිසා ඇය කෆ්තාන් වගේ ගවුමක් ඇඳගෙන ගිහින් තිබුණෙ. ඇය බැංකුවේ සිට ආපසු ගෙදර එනකොට ට්‍රැෆික් මෝටර් බයිසිකලයකින් පොලිස් නිලධාරියෙකු ගෙදර ඇවිත් තිබුණා. ඔහු මගේ බිරිඳට ඉස්සරහට එන්න කියලා ඡායාරූප අරගෙන.

ඔහු ඒ ෆොටෝ වට්ස්ඇප් මගින් පොලිසියට යැව්වාලු. විනාඩි 20කින් පොලිස් ජීප් එකක් ඇවිත් මගේ බිරිඳ අත්අඩංගුවට අරගෙන. පසුවදා ඇය අධිකරණයට ඉදිරිපත් කළා. දැන් ඇය මැයි 27දා දක්වා බදුල්ල බන්ධනාගාරයේ රිමාන්ඩ් කරලා.

එයා අහිංසකයි. එයාට මේ රටේ වෙන දේවල් එච්චර තේරෙන්නෙ නැහැ. අපි දුප්පත් මිනිස්සු. ඇයි මේ රාමසාන් මාසෙ කිසි වරදක් නොකර අපට හිරිහැර කරන්නෙ?

ඒ ගවුමෙ තිබුණෙ ධර්ම චක්‍ර‍යක් නෙමෙයි. සමහරු කියනවා ඒක නැව් රෝදයක් ය කියලා.

මගේ බිරිඳ ධර්ම චක්‍ර‍යවත්, නැව් සුක්කානමවත් දන්නෙ නැහැ. එයා නිදහස් කරලා දෙන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න