මංගල ඇමතිට ගහන්නේ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා නැති දෙයක් අල්ලගෙන - ජනරංජන

මංගල ඇමතිට ගහන්නේ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා නැති දෙයක් අල්ලගෙන - ජනරංජන

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නම් ලංකාවේ මූලික නීතිය එහෙම නැත්නම් උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ හෝ එය සඳහන්ව තිබිය යුතු බවත් මෙතෙක් පැවති එකම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවකවත් ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් ලෙස කොහෙවත් තැනක හඳුන්වා නොමැති බව ජේෂ්ඨ මාධ්‍යවේදී කේ.ඩබ්ලිව් . ජනරංජන අවධාරණය කරයි.

ඒ අනුව රටේ මූලික නීතියේ පවා කිසිදු අවස්ථාවක ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් ලෙස නොමැති බව ඉතාමත් පැහැදිළි බවත් ඔහු පවසයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර සිදුකළ ප්‍රකාශයක් විකෘති අර්ථකථනයක් ලබාදෙමින් දියත් කර ඇති ප්‍රචාරය සම්බන්ධව අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කර සිටියි.

මංගල සමරවීර මහත්මයා ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නෙවෙයි කියන කතාව ඔහු විසින් අලුතෙන් කියන ඇත්තක් නෙවෙයි. ඉතිහාසය පුරා තිබුණු ඇත්තක්. ලංකාව කවදාවත් ඉතිහාසය දිහා බලනකොට සිංහල බෞද්ධ තනි රාජ්‍යයක් හැටියට පැවතිලා නැහැ.

ක්‍රි : පූ හයවෙනි සියවසේ ඉඳලා ගත්තොත් එහෙම, ඒ තරම් ඈතකට ගිහිල්ලත් අපි දන්නවා ලංකාවේ බෞද්ධයෝ ඉන්නකොටම දමිළයන් මුස්ලිම් ජාතිකයන් මේ හැම කෙනෙක්ම කාලයෙන් කාලයට ලංකාවේ ඇතුලේ හටියා. ඒ නිසා මේක තනි සිංහල බෞද්ධ රාජ්‍යයක් ලෙස කවදාවත් පැවතුනේ නැහැ.

අනෙක් පැත්තට අපේ රජවරුන් ගත්තත් සිංහල රාජධානි තිබුණු සමයේ ඒ කාලේ රජවරු අනිවාරෙන්ම බෞද්ධ රජවරු, අනිවාරෙන්ම සිංහල රජවරු හැටියට අපි දැක්කේ නැහැ. නොයෙක් අවස්ථාවල ලංකාවේ රජකළ රජවරු පවා අන්‍යාගමික වගේම සිංහල ජාතියට අයත් නොවන අයත් රාජ්‍ය කළා. ඉතින් මේ විදිහට ගත්තහම ඉතිහාසය පුරාම ලංකාව කවදාවත් සිංහල බෞද්ධ රාජ්‍යයක් විදිහට පැවතිලා නැහැ. ඒ ඇත්ත තමයි මංගල සමරවීර මහත්මයා කිවුවේ.

අනෙක් පැත්තට මේක සිංහල බෞද්ධ රාජ්‍යයක් නම් ලංකාවේ මූලික නීතිය එහෙම නැත්නම් උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ අඩුගානේ ඒක සඳහන් වෙලා තියෙන්න ඕන කොහේ හරි තැනක. මේ වෙනකන් අපි හරිගස්ස ගත්ත එකම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවකවත් ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් ලෙස කොහෙවත් තැනක හඳුන්වලා නැහැ. ඒක නිසා රටේ මූලික නීතියෙනුත් ඒක එහෙම නොවන බවට ඉතාමත් පැහැදිළියි.

දැන් මංගල සමරවීර මහත්මයා මේක සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවෙයි කිවුවේ මොන අර්ථයෙන්ද? ඔහු ඒක කිවුවේ මේ වගේ සිංහල මුස්ලිම් එහෙම නැත්නම් මීට ඉස්සෙල්ල සිංහල දෙමළ ජනවර්ග අතර කිසියම් ආකාරයක ආතතියක් තිබිච්ච වෙලාවක ඒ ආතතිය සමනය කිරීම සඳහා තමයි මංගල සමරවීර මහතා ඒ වගේ අදහසක් ප්‍රකාශ කරන්නේ.

මේ අදහස ප්‍රකාශ කරාම ඒකෙන් කිපිච්ච පිරිසක් ඉන්නවා, ඒකට තරහ ගිය පිරිසක් ඉන්නවා, ඒක නිසා වෛර බැඳගත්ත පිරිසක් ඉන්නවා. ඒ තරහා නිසා රටේ සියලුම මාධ්‍ය භාවිතා කරලා මංගල සමරවීර ඇමතිතුමාට විරුද්ධව විශාල ප්‍රචාරයක්, ව්‍යාපාරයක් ගෙනියන පිරිසක් ඉන්නවා. කවුද මේ?

මේ පිරිස තමයි ලංකාව සිංහල බෞද්ධයන්ට පමණක් අයිති වෙන්න ඕනැයි කියලා කල්පනා කරන පිරිස. වෙන විදිහකට කිවුවොත් මුස්ලිම්, දෙමළ, මැලේ ආදී අපේ සහෝදර ජනවර්ගවල අය ලංකාවෙන් යන්න ඕනැයි කියන, ලංකාව තුළ ඉන්නවා නම් සිංහල බෞද්ධයන්ට ඕන විදිහයට ඉන්න ඕනැයි කියලා කල්පනා කරන කට්ටිය. කෙටියෙන් කිවුවොත් එහෙම, සිංහල බෞද්ධ අන්තවාදීන්.

රටේ සිංහල බෞද්ධ ජනතාවගෙන් බහුතරයක් මේ විදිහට හිතන අය නෙවෙයි. ඒ අය හිතන්නේ දෙමළ මිනිස්සු, මුස්ලිම් මිනිස්සු, සිංහල මිනිස්සු සහෝදරත්වයෙන් එක බඩවැල කඩාගෙන ආව අය හැටියට ජීවත් වෙන්න ඕනැයි කියලා. උදාහරණයක් හැටියට පසුගිය දවස්වල මිනුවන්ගොඩ මුස්ලිම් කඩවලට ප්‍රහාර එල්ල කරපු අවස්ථාවේ අපි දැක්ක ඒ කතාකරපු ව්‍යාපාරිකයෝ මොනවද කිවුවේ, අපි මෙච්චර කල් මේ මුස්ලිම් මිනිස්සුත් එක්ක එකාවගේ සහෝදරයෝ වගේ මෙතන හිටියා, ඒක කඩාකප්පල් කරන්නයි මේ වැඩේ කරේ කියලා.

එතකොට මෙන්න මේ සහජීවනය, මෙන්න මේ සාමය මේ සහෝදරත්වය නැති කරන්න තමයි, සිංහල බෞද්ධ අය විතරයි මේකේ ඉන්න ඕන, මේක සිංහල බෞද්ධයන්ගේ රාජ්‍යයක්, ඒ නිසා දෙමළ මිනිස්සුන්ට මුස්ලිම් මිනිස්සුන්ට ඒ තියන අයිතිය නැහැයි කියලා මේ පිරිසක් කියනවා. ඉතාම පැහැදිළිව ඒ අය සිංහල බෞද්ධ අන්තවාදීන් හැටියට අපි පැහැදිළි කරන්නට ඕනෙ.

අපිට අවශ්‍ය මෙන්න මේ කියන, අපිට විතරක් අයිතිය කියන මතවාදය වෙනුවට සිංහල බෞද්ධ, දෙමළ, හින්දු, ක්‍රිස්තියානි ඒ වගේම මුස්ලිම්, ඉස්ලාම් මේ වගේ ජාතික හා ආගමික අනන්‍යතාවයන් සහිත සියලු පිරිස් එක හා සමාන ලෙස නීතිය ඉදිරියේ සමාන ලෙස ජීවත් වෙන, සහෝදරත්වයෙන් ජීවත්වෙන රටක් බවට පත් කරන්න. ඉතින් එවැනි රටක් බලාපොරොත්තු වෙන අපිට සිංහල බෞද්ධයන්ට පමණයි මේ රට, මේක සිංහල බෞද්ධ රාජ්‍යක් කියලා කියන අය පේන්නේ අන්තවාදීන් පිරිසක් හැටියටයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න