Language Switcher

V2025

ඇතැම් චීවරධාරීන් විකුණාගෙන කන්න උත්සහ කළත් බුදු දහම ආගමක් නොව විශ්වීය දර්ශනයක් - මංගල

ඇතැම් චීවරධාරීන් බුදු දහම ආගමක් බවට පත් කරගෙන විකුණාගෙන කන්න උත්සහ කළාට එය ආගමක් නොව විශ්වීය දර්ශනයක් බව අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (22) මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අභ්‍යාසලාභී සංවර්ධන නිලධාරීන් 304 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එදා අමිර්තලිංගම් ඉවත්කලා වගේ අද මුස්ලීම් නායකයන් ඉවත්කරන්න හදන්නේ !

එදා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාව සිටි අමිර්තලිංගම් වැනි දෙමළ නායකයන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරමින් එදා රට ජාතිවාදය කරා ගමන් කරවූ ආකාරයට ම අද ඇතැම් පිරිස් මුස්ලිම් නායකයන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට උත්සහ දරමින් සිටින බවත් එහිදී අමාත්‍යවරයා පැවසීය.

ඔවුන්ගේ උත්සහය වී ඇත්තේ සියලුම් මුස්ලිම්වරුන් ත්‍රස්වාදීන් ලෙස හඳුන්වා දෙමින් පෙර වැරැදි යළි යළිත් සිදු කරමින් රට ජාතිවාදය කරා ගමන් කරවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසූ අතර එහිදී වැඩදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“1948 පෙබරවාරි 04 වෙනිදා ශ්‍රී ලංකාව නිදහස ලබා ගන්නා අවස්ථාවේ දී එංගලන්තයේ ටයිම්ස් පුවත්පත ශිර්ෂය පළ කරල තිබුණෙ ආසියාවේ ස්වීට්සර්ලන්තය කරා ගමන් ගන්නා ශ්‍රී ලංකාව යනුවෙනි. එහෙත් ඉන් වසර හැත්තෑවකට පසු අද භුක්ති විඳින්නේ ජාතීන් ලෙස, ආගම් ලෙස, විවිධ කුල ලෙස වෙන්වීමේ ප්‍රතිඵලයන් ය. දකුණේ තරුණ කැරළි දෙකක්, උතුරේ යුද්ධයක් අපේ රටේ තරුණ ජීවිත දහස් ගණනකගේ ජීවිත විනාශ කළේ ය. ඒ විනාශ වූයේ සිංහල හෝ දෙමළ හෝ ජවිපෙ හෝ එජාප හෝ මේ රටේ තරුණ ජීවිතයන් ය.

2015 වසරේ දී අප භාර ගත්තේ ණය බරෙනි මිරිකුණු රටකි. ඒ ණය කන්දත් කරේ තබාගෙන වසර තුනක් තිස්සේ ආ දුෂ්කර ගමන අද වන විට රටේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වාගෙන යාමට අපි සමත් ව සිටිමු.

ඔවුන් මේ කරමින් ඉන්නේ රට වසර 30 යුද්ධයකට ඇද දැමූ වරද යළිත් සිදු කිරීමට !

පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ප්‍රහාරය ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවක ප්‍රතිඵලයකි. ලන්ඩන් නුවර, පැරිස් නුවර ආදී ස්ථාන පවා මේ ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත් විය. නමුත් අප රට ගොඩනාගෙන තිබූ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදය, ශක්තිමත් ආර්ථිකය, විදේශිය සබඳතා සේම ආරක්ෂාව යන කරුණු හේතුවෙන් තත්ත්වය වඩාත් ඉක්මණින් පාලනය කර ගැනීමට හැකි විය. තත්ත්වය කෙසේ වුව ද මෙම සිද්ධිය දඩමීමා කරගනිමින් තමන්ගේ පටු දේශපාලන වාසිය කතා රට තුළ ජාතිවාදය ඉස්මතු කිරීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන පිරිස පිළිබඳ සඳහන් කළ යුතු මය. සියලුම මුස්ලිම්වරුන් ත්‍රස්තවාදීන් ලෙස හුවා දක්වමින් ඔවුන් මේ කිරීමට සූදානම් වන්නේ දේශපාලනයකි. බෞද්ධ අන්තවාදීහුද සිටිති. ඔවුන් කරමින් සිටින්නේ මේ සිදු වීම ආණ්ඩු පෙරළියක් බවට පත් කර ගැනීමේ ක්‍රියාවලියකට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමය. ඔවුන් මේ කරමින් ඉන්නේ රට වසර 30 යුද්ධයකට ඇද දැමූ වරද යළිත් සිදු කිරීමට ය.

එදා අමිර්තලිංගම් පාර්ලිමේන්තුවෙන් නෙරපා හැර රට මහත් විනාශයකට ගමන් කරවූ වරද අද යළිත් සිදු කරමින් මුස්ලිම් නායකයන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමේ කටයුත්තකට මුල පුරමින් සිටියි. අමාත්‍ය රිසාද් බදියුදීන් ඇතුළු පිරිසට ඇත්තේ දේශපාලන චෝදනා මිස නීතිමය චෝදනා නොවේ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

රටේ වෙසෙන මුස්ලිම්වරු 99.9%ක් ජාතිවාදීන් නෙවෙයි !

මේ රටේ වෙසෙන මුස්ලිම්වරු 99.9%ක් ජාතිවාදීහු නොවෙති. ඊට කදිම නිදසුන නම් ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා මුස්ලිම් ජනතාව දැක්වූ සහයෝගයයි. ඒ නිසා ඔවුන්ගේ විලාසිතා මෙසේ විය යුතුයි කියල තීරණය කරන්න අපට අයිතියක් නැත. මේ ආකාරයට පමණක් ඇඳිය යුතු යැයි ප්‍රකාශ කිරීමට අපට අයිතියක් නැත.

මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ කාන්තා විදුහලක විදුහල්පතිනියක් මුස්ලිම් ගුරුවරියන් පිරිසකට සාරිවලින් සැරසී සේවයට පැමිණෙන ලෙස දන්වා ඇත. අප කළ යුත්තේ ඔවුන්ගේ ඇඳුමට ගරු කිරීමයි. ඔවුන්ට අපේ සහයෝගය ලබා දිය යුතුයි. අපි වෙන් වෙන්න ගියොත් අපේ රටට අනාගතයක් නැති වනු ඇතැයි මංගල සමරවීර මහතා අවධාරණය කළේ ය.

බෞද්ධ දර්ශනය විශ්වයට ම අදාළයි !

මෙරට බහුතර ජනතාව සිංහල බෞද්ධයෝ ය. එහෙත් බෞද්ධ ආගමක් කියන වචනයට මා විරුද්ධය. හේතුව එය දර්ශනයකි. එය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික නොවේ. බෞද්ධ දර්ශනය විශ්වයට ම අදාළ ය. එය දිව්‍ය ලෝකයට සේම නරකාදියටත් අදාළ ය. එහෙත් ඇතැම් චීවරධාරීහු මෙය ආගමක් බවට පත් කර ගනිමින් එය විකුණාගෙන කෑමට උත්සහ දරමින් සිටිති.” යැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ය.