ජනපතිට පොඩි ළමයෙක් වගේ හැසිරෙන්න බෑ

ජනපතිට පොඩි ළමයෙක් වගේ හැසිරෙන්න බෑ

කුමන අරමුණක් මත වුව ද ජනාධිපතිවරයා කැබිනට් රැස්වීම වර්ජනය කිරීම "සමස්ත රාජ්‍ය පද්ධතිය ම ඛේදවාචකයකට ඇද දැමීමේ ක්‍රියාවක්" බවට විද්වත්හු අනතුරු අඟවති.

සතියකට වරක් අඟහරුවාදා දිනයේ පැවැත්වෙන කැබිනට් රැස්වීම ජූනි 11 වන දා නොපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය බීබීසී පුවත් සේවයට තහවුරු කළේය.

පාස්කු ඉරිදා දිනයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විරෝධය පළ කරමින් තමන් කැබිනට් රැස්වීමට සහභාගි නොවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා (ජුනි 07) පැවති විශේෂ කැබිනට් අමාත්‍ය හමුවේ දී පවසා තිබිණි.

ඔහු පවසා තිබුණේ, තමන් යටතේ සිටින කිසිදු නිලධාරියෙකු තේරීම් කාරක සභාව හමුවට නොඑවන බවය.

කෙසේ වෙතත්, කතානායක කරු ජයසූරිය ජූනි මස 8 වන දා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, පාර්ලිමේන්තුවේදී ඇති කර ගත් එකඟත්වයකට අනුව තේරීම් කාරක සභාව ක්‍රියාත්මක වන බවය.

"වර්තමානයේ පවතින නීතිය අනුව යම් නිලධාරියෙක් පාර්ලිමේන්තුවේ කැඳවීමකට අවනත වීමට බැඳී සිටී. එය කඩ කිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව ඔවුනට පැහැදිලි අවබෝධයක් ඇති බව නිසැකය," යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් විය.

මේ අතර, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අඟහරුවාදා (ජූනි 11) පස්වරුවේ සිව් වන දිනටත් පැවැත්විණි.

කැබිනට් රැස්වීම යනු කුමක්ද ?

1 2

 අග්‍රාමාත්‍යවරයාට ආරක්ෂක කවුන්සිලයට එන්න නොදීමේ සිද්ධිය හරහා කොයිතරම් බරපතළ ඛේදවාචකයක් සිද්ධ වුණා ද? රටේ ආරක්ෂාව ඇතුළු සියලු තීන්දු ගන්න කැබිනට් මණ්ඩලය රැස් වෙන්නෙ නැත්නම් ඊට වඩා ඛේදවාචක රැසක් සිද්ධ වෙන්න පුළුවන්

  • ආචාර්ය හරිනි අමරසූරිය
    කැබිනට් අමාත්‍ය රැස්වීම යනු රජයේ ප්‍රතිපත්ති සම්පාදනය වන ප්‍රධාන මණ්ඩපය වේ. ව්‍යවස්ථානුකූලව රටේ අභිවෘද්ධිය, ආර්ථිකය, ජාතික ආරක්ෂාව ඇතුළු තීන්දු තීරණ ගනු ලබන්නේ කැබිනට් රැස්වීමේදීය.

"ප්‍රජාතන්ත්‍රවාදය තුළ සාමූහික වගකීම කියන දේ ගොඩක් වැදගත්. රටේ තීන්දු සාමූහිකව ගැනීම සඳහා විධායකය හමුවන ස්ථානය කැබිනට් රැස්වීමයි," ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තිරසර සංවර්ධනය පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය එසේ පැහැදිලි කළේය.

කැබිනට් රැස්වීම නොපැවැත්වීම රටට බලපාන්නේ කෙසේද ?

"රටට අදාළ තීන්දු ගන්න කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ නෑ කියන්නේ ලොකු ඛේදවාචකයකට මුලක්. අග්‍රාමාත්‍යවරයාට ආරක්ෂක කවුන්සිලයට එන්න නොදීමේ සිද්ධිය හරහා කොයිතරම් බරපතළ ඛේදවාචකයක් සිද්ධ වුණා ද? රටේ ආරක්ෂාව ඇතුළු සියලු තීන්දු ගන්න කැබිනට් මණ්ඩලය රැස් වෙන්නෙ නැත්නම් ඊට වඩා ඛේදවාචක රැසක් සිද්ධ වෙන්න පුළුවන්," ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දුන්නාය.

"මේ සිද්ධ වෙන දේවල්වලින් පේන්න තියෙන්නේ රාජ්‍ය තන්ත්‍රය ම පාර්ශව දෙකක් අතරේ රණ්ඩුවක් බවට පත්වෙලා කියන එකයි. ඒකෙන් රාජ්‍ය තන්ත්‍රය ම ප්‍රශ්න රැසකට මුහුණ දීලා තියෙන්නේ. ජනාධිපතිවරයා කැබිනට් රැස්වීම් වර්ජනය කරනවා නම් ඔහු තමන්ගේ වගකීම් ජනතාව වෙනුවෙන් ඉටු කරන්නේ කොහොම ද? මෙතන සිද්ධ වෙන්නේ දෙපාර්ශවය ඇඟ බේරගන්න උත්සහ කිරීමක්. මේක රටේ ප්‍රතිපත්ති සම්පාදනය නතර කිරීමක්," ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

"ජනාධිපතිවරයාට රජය සමග වැඩ කරන්න බැරි නම් ඔහු ඉල්ලා අස්විය යුතුයි. ජනාධිපති කෙනෙකුට පොඩි ළමයෙක් වගේ හැසිරෙන්න පුළුවන් ද?"

දෙකට බෙදිලා රට හදන්න බෑ !

2

මෙම අර්බුදය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ආර්ථික හා සමාජ විද්‍යා පර්යේෂකයෙකු වන ආචාර්ය පියවි විජේවර්ධන පෙන්වා දුන්නේ, පාස්කු ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකයට 4%කට වැඩි සමස්ත හානියක් සිදුව ඇති අවස්ථාවක රටේ ආරක්ෂාව සහ ආර්ථිකය පිළිබඳව සාමූහික තීරණ ගත යුතුව ඇති බවය.

රටේ අභිවෘද්ධිය වෙනුවෙන් එක්විය යුතු අවස්ථාවක "පොදු හෝ පෞද්ගලික අරමුුණු කුමක් වුව ද කැබිනට් රැස්වීම් නොපැවැත්වීම," විශාල හානියක් බව ද ආචාර්ය පියවි විජේවර්ධන සඳහන් කළේය.

"මේ වෙනකොට රටේ ආර්ථික වර්ධන වේගය ඉතා ම පහළ මට්ටමක පවතින්නේ. ජාතික ආරක්ෂාව වගේ ම රටේ ආර්ථිකය වෙනුවෙන් සාමූහිකව යහපත් තීන්දු ගත යුතු අවස්ථාවකයි අපි ඉන්නේ. නතර වෙලා තියෙන ව්‍යාපෘති ආපසු ආරම්භ කරන්න ඕන. ආර්ථිකය ගැන තීන්දු ඉක්මනින් ගන්න ඕන."

"ජනාධිපතිවරයා කැබිනට් රැස්වීම් නොපැවැත්වීමෙන් හෝ ඊට සහභාගි නොවීමෙන් සතියෙන් සතිය රට ආපස්සට යාමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක හොඳ ආදර්ශයක් නෙවෙයි."

කැබිනට් රැස්වීම නොපැවැත්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ද විවිධ අදහස් පළ වී තිබිණි.

3 1

4

(බීබීසී)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න