මම නිතරම උත්සාහ කරන්නේ, තානාපති වශයෙන් මා සේවය කරන රටවල් වලින් ශ්‍රී ලංකාවට කිසියම් සේවයක් ලබා ගැනීමටයි. අද මම විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමා මුණගැසුනා. එහිදී මට පැහැදිළි වුනේ එතුමා මේ රට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයෙන් වඩාත් ඉහල මට්ටමකට ගෙනඒමටත්, ලංකාව විදුලිබලයෙන් ස්වයංපෝශිත කිරීමටත් ඇපකැපවී කටයුතු කරන බවයි. ඒ වෙනුවෙන් ප්‍රංශ රජයෙන් ලබාගත හැකි උපරිම සහයෝගය ලබාදීමට මම විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයාට පොරොන්දු වුණා" යැයි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි අතාවුද පැවසීය.
තානාපතිවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (11) විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක සමග එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති නිල සාකච්ඡාවකින් අනතුරුවය.
ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය මුහුණපා ඇති තත්ත්වය සහ ඒ සදහා ලබාගත යුතු තිරසාර විසදුම් පිළිබදව සාකච්ඡා කළ විෂයභාර අමාත්‍යවරයා සහ ප්‍රංශ තානාපතිවරයා, දෛනිකව වර්ධනය වන ජනගහනය හමුවේ නිරන්තර ඉහළ යන විදුලිබල ඉල්ලුම අඛණ්ඩව සහ ගුණාත්මකව මෙන්ම අවම මිලක් යටතේ සපුරාලිම වෙනුවෙන් විදුලි උත්පාදන කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබදවද වැඩි දුරටත් සාකච්ඡා පැවැත්වීය.
මෙහිදී අදහස් දැක්වූ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා අවධාරණය කළේ, විදුලිය සැපයීම අතින් කලාපයේ සෙසු රටවලට වඩා ලංකාව ඉදිරියෙන් තැබීම තමාගේ මූලික අරමුණ බවත්, මෙවැනි සංවර්ධනය වන රටක් ජනතාවගේ යටිතල පහසුකම් පිළිබදව මේ අයුරින් විශේෂ අවධානයක් යොමුකිරීමට හැකිවීම රජයක් වශයෙන් සිදුකරනු ලබන විශිෂ්ට ක්‍රියාවක් බවත්, ඒ තුළින් රටක් වශයෙන් නැගී සිටීමට සහ සංවර්ධනාත්මක මාවතකට අවතීර්ණ වීමට පහසු බවත්ය. එමෙන්ම ශ්‍රී ලංකාව මේ වනවිට අනුගමනය කරනු ලබන සූර්ය සහ සුළංබල විදුලි උත්පාදන ක්ෂේත්‍රයන්හි ආයෝජන අවස්ථා පුළුල් කිරිමටත් ඒ වෙනුවෙන් දේශීය සහ විදේශීය සහාය ලබාගැනීමටත් තමා අපේක්ෂා කරන බවත්ය.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්ධි අතාවුද අදහස් දක්වමින් ශ්‍රී ලංකාව වැනි ස්වභාව සෞන්දර්යය, සශ්‍රීකත්වය අතින් සුවිශේෂී ස්ථානයක පවතින රටක්, විදේශීකයන්ගේ විශේෂ අවධානයට යොමුවන අතර ඒ තුළින් ව්‍යාපාරික අවස්ථා බොහෝමයක් දියත්කළ හැකි බව පැවසූ අතර ශ්‍රී ලංකාව තුළ දියත්කළ හැකි ව්‍යාපාරික අවස්ථාවන් පිළිබදව සොයාබලා, ඒ සම්බන්ධයෙන් තමා සේවය කරන රටවල ආයෝජන අවස්ථා සලසාදීමටත් තමා කටයුතු කරන බව පැවසීය.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ අදහස් පිළිබදව සිය කෘතඥතාවය පළකල අමාත්‍ය කරුණානායක, තම රටේ ව්‍යාපාරික සහ විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉදිරියේදී සිදුකෙරෙන සංවර්ධන ක්‍රියාදාමයට ප්‍රංශයේ සහාය අපේක්ෂා කරන බවත්, ඒ තුළින් ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කලක පටන් පවතින්නාවූ රාජ්‍ය තාන්ත්‍රික සහ මිත්‍ර සබදතා තවතවත් තහවුරුවන බවත් පැවසීය.

