ඔබ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා : අගමැතිගෙන් ජනාධිපතිට රතු ලිපියක් !

ඔබ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා : අගමැතිගෙන් ජනාධිපතිට රතු ලිපියක් !

මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍යාංශ තුනකට වැඩබලන ඇමැතිවරුන් තිදෙනෙකු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති සිරිසේන වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැතිවරයා එම ලිපිය ජනාධිපතිවරයා වෙත යවා ඇත්තේ පසුගිය 11වනදා බවත් වාර්තා වෙයි.

මෙහිදී කැබිනට් ඇමැතිවරුන් ඉල්ලා අස්වී තිබියදී ඒවාට වැඩබලන ඇමැතිවරුන් පත්කළ නොහැකි බවත් එය 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථාවට පටහැනි බවත් අගමැතිවරයා සිය ලිපිය මගින් පෙන්වා දී ඇති බවත් වාර්තා වෙයි.

ඇමැතිවරුන් පත් කිරීමේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඔවුන්ගේ නම් අගමැතිවරයා විසින් නිර්දේශ කළ යුතුව ඇතැයිද එහෙත් තමා එවැනි නිර්දේශ කිරීමක් කර නැතැයිද අගමැතිවරයා ජනාධිපතිවරයාට දන්වා යවා ඇති බවත් දැනගන්නට ඇත.

ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමකටද ලක්විය හැකි බව අගමැතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

රවුෆ් හකීම්,රිෂාඩ් බදියුදීන්, කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමෙන් කැබිනට් අමාත්‍යාංශ හතරක් පුරප්පාඩු විය.

එම අමාත්‍යාංශවල වැඩබැලීමට පත්කරන ලෙස ඉල්ලමින් රාජිත සේනාරත්න මලික් සමරවික්‍රම සහ රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන්ගේ නම් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත ඉකුත් දා යවනු ලැබීය.

එම නම් ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පුරප්පාඩු වී ඇති අමාත්‍යාංශවල රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් එහි වැඩබලන ඇමැතිවරුන් ලෙස පසුගිය 10 වනදා පත් කළේය.

ඒ අනුව ලකී ජයවර්ධන - නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන වැඩබලන ඇමැති වශයෙන්ද , අනෝමා ගමගේ - මහාමාර්ග ,මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන ඇමැති වශයෙන්ද , බුද්ධික පතිරණ - කර්මාන්ත හා වාණිජ ,දිගු කාලීන අවතැන්වූවන් නැවත පදිංචි කිරීම, සමූපාකාර සංවර්ධන හා වෘත්තිය පුහුණු වැඩබලන ඇමැති වශයෙන්ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න