Language Switcher

V2025

රාජිතගේ තවත් කෙරුවාවක් හෙළිවේ !

ජනාධිපති ලේකම්වරයාගේ රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය උල්ලංඝණය කරමින් සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා, සහායක කාර්ය මණ්ඩලය සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වැඩිපුර වාහන 24ක් නිකුත් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විශේෂ විගණනයකදී අනාවරණය වී තිබේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වාහන කළමනාකරණය පිළිබඳ මෙම විශේෂ විගණන වාර්තාව විගණකාධිපති දෙපාර්තමේන්තුව සකස් කර ඇත්තේ 2017 වසරේ දෙසැම්බර 31 වැනි දිනට අදාළව ඇති දත්ත පරීක්ෂා කිරීමෙන් බව එහි ආරංචි මාර්ග කියයි. මෙම විගණන වාර්තාවට විගණකාධිපතිවරයා අත්සන් තබා ඇත්තේ 2019 අප්‍රේල් 22 වැනි දාය.

ජනාධිපති ලේකම්වරයාගේ 2010 මැයි 14 දිනැති රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය අනුව අමාත්‍යවරයකු වෙනුවෙන් වෙන් කළ හැකි වාහන සංඛ්‍යාව තුනක් වුවද සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අනියුක්ත කර ඇති වාහන සංඛ්‍යාව 18ක් බවත්, ඇමැතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියා වෙනුවෙන් එක් වාහනයක් පමණක් අනුමත වුවද සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වාහන දෙකක් අනියුක්ත කර ඇති බවත් විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් වෙයි. නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අනුමත වාහන සංඛ්‍යාව තුනක් වුවද සෙඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වාහන 11ක් අනියුක්ත කර ඇති බව ද එහි සදහන් වෙයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද 2017 දෙසැම්බර් මස 31 වැනි දිනට යාවත්කාලීන වූ තොරෙතුරු අනුව අමාත්‍යංශය සතුව වාහන 5556ක් තිබිය යුතු වවද, 2017 දෙසැම්බර් 31 වැනි දිනට යාවත්කාලීන කරන ලද අමාත්‍යංශ ලේඛනවලට අනුව අමාත්‍යංශය සතුව ඇත්තේ වාහන 5354ක් බව ද එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

අමාත්‍ය කාර්යාලයට අනියුක්ත කර ඇති වාහන තුනක් 2017 ජනවාරි පළමු වැනි දා සිට 2017 ජුනි 30 දක්වා අතර මාස හයක පමණ කාලයේ දී කිසිදු අවස්ථාවක අමාත්‍යංශයට පැමිණ නොතිබූ බවත්, අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයට වැඩිපුර වෙන් කර ඇති වාහනවලට අමතරව 2017 වසරේ පළමු මාස හයේදී අවස්ථා 314ක දී අමාත්‍යංශ සංචිතයේ ඇති වාහන අනියුක්ත කර ඇති බවත්, ඒ සඳහා අවස්ථා 102කදී කිලෝමීටර 56,182ක් සඳහා රුපියල් 795,370ක ඉන්ධන වැය කර තිබුණු බවත් විශේෂ විමර්ශන වාර්තාවේ දැක්වේ.

හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ අමාත්‍ය කර්ය මණ්ඩල නිලධාරියකු තම ධුරය කාලයෙන් පසු යතුරුපැදි දෙකක් හා මෝටර් රථයක් රැගෙන ගොස් ඇති බව ද අනාවරණය වී තිබේ.

අදාළ චක්‍රලේඛවලට පටහැනිව අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ඔවුන්ගේ කාර්යාල සඳහා වෙන් කළ වාහන වෙනුවෙන් රුපියල් මිලියන 6.62ක අමතර ඉන්ධන නිකුත් කර තිබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කි ඇත.

අමාත්‍යංශයේ ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂ යටතේ කාර්ය මණ්ඩලයේ 33 දෙනකු සේවය කළ ද වාහන පාලනය හා විධිමත් පරිදි පොත් පවත්වාගෙන යෑම සිදුවී නොමැති බව තහවුරු වීයැයි ද විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි.

වාහන 1794ක් අස්ථාන ගතවී තිබීමත්, අමාතයංශයෙන් බාහිර පාර්ශ්ව වෙත පවරා තිබූ වාහන 259ක් අතුරෙන් 177ක පැවරීම්වල නීත්‍යනුකූලතාව තහවුරු නොවීමත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබුණද අමාත්‍යංශ ලේඛනයේ ඇතුලත් නොවූ වාහන 202න් වාහන 171ක භෞතික පැවැත්ම තහවුරු නොවීමත් හේතුවෙන් නිශ්චිතව ගණනය කළ නොහැකි අලාභයක් රජයට සිදුවී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිගමනය කර තිබේ.

විෂය භාර අමාත්‍යවරයාට, නියෝජ්‍ය අමාත්‍යවරයාට හා අදාල කාර්ය මණ්ඩලයට චක්‍රලේඛවලට පටහැනිව වාහන හා ඉන්ධන ලබාදීමට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කළ යුතු බව ද නිගමනය කර විගණකාධිපති දෙපාර්මේන්තුව පැවැත්ව හඳුනාගත නොහැකි වාහන 171 සම්බන්ධයෙන් විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සුදුසු බව ද නිර්දේශ කර තිබේ.

(ලංකාදීප )