වත්මන් රජය යටතේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට රජය කටයුතු කරද්දී ඇතැම් සංවිධාන ඊට එරෙහි වී ඇති බවත් ඒ ව්‍යාපාරයන්ට විරුද්ධව මහ මඟට බැස උද්ඝෝෂණ පවත්වා හෝ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ අවධාරණය කරයි.
වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රට පුරා ඉඩම් ඔප්පු දස ලක්‍ෂයක් ලබාදීමේ වැඩසටහන මේ වනවිට සාර්ථකව ඉදිරියට ගෙන යන අතර, මෙතෙක් පැවැති ඉඩම් නීති රිතී සංශෝධනය කරමින් රජයේ ඉඩමක් අවුරුදු 10 ක් අඛණ්ඩව භුක්ති විදි ජනතාවට එම ඉඩම්වල සින්නක්කර අයිතිය ලබාදීම වත්මන් රජයේ අරමුණ බව ය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ පසුගියදා (07) දින අම්පාර, ප්‍රදේශයේ පැවැත්වූ ඉඩම් හිමිකම් ඔප්පු දස ලක්‍ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහනට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
අද අම්පාර දිස්ත්‍රික් ඉඩම් ඔප්පු බෙදාදීමේ අවස්ථාවට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම ස්තූතිය පළ කරනවා. මෙම ඉඩම් ඔප්පු බෙදාදීමේ වැඩසටහන අපි රට පුරා සිදු කරමින් සිටිනවා. ඒ වැඩසටහන තුළ අම්පාර දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු බෙදාදීම විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. ඩී.එස්. සේනානායක මැතිතුමා විසින් නිදහස් ශ්‍රී ලංකාවේ පළමු වාරි මාර්ග ව්‍යාපෘතිය ආම්පාරේදී ආරම්භ කළා. විශාල වශයෙන් ජනතාව මේ ප්‍රදේශයේ පදිංචි කළා. ඒ වගේම අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රීකුණාමලය ප්‍රදේශවලත් එතුමා ජනතාව පදිංචි කළා.
ගම්මාන පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ එදා ජනතාවට ඉඩම් ලබාදීමත් සිදු කෙරුණා. ගොඩ ඉඩම්, මඩ ඉඩම් ලෙස සියලූම ඉඩම් අවශ්‍ය ආකාරයට ජනතාවට ලබාදීමට එක්සත් ජාතික පක්‍ෂ රජයන් අතීතයේ සිටම කටයුතු කර තිබෙන බව පැහැදිලි වෙනවා.
අවුරුදු 85ක් පැරණි පනතක් !
සාමාන්‍ය ජනතාවට ඉඩම් ලබාදීම සිදු කළේ 1934 වසරේ සම්මත කළ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේයි. ඒ කාලයේ ඉඩමේ භුක්තිය වෙනුවෙන් ජනතාවට ලබාදුන්නේ ඉඩම් බලපත්‍රයි. තම ඉඩමට ඇති එකම හිමිකම ඒ බලපත්‍රයයි. ඉන්පසුව කාලයක් යන විට බලපත්‍ර ලබා නොදී ලියුමකින් පමණක් ජනතාව පදිංචි කිරීමට කටයුතු කළා. බලපත්‍රයක් හෝ ලියුමක් වැනි කිසිම ලියවිල්ලක් නොමැතිව ද පදිංචි කළ ජනතාව සිටිනවා.
ඔප්පුවක් තියා ලියුමක්වත් නැති ජනතාවක් තවමත් ඉන්නවා !
මෙම කණ්ඩායම් තුනටම තම ඉඩම පිළිබඳ භුක්තිය පෙන්වීමට ඔප්පුවක් තිබුණේ නැහැ. රටේ බොහෝ අයට තම ඉඩමට ඔප්පුවක් තිබෙනවා. සුදු ජාතිකයන්ගේ කාලයේ තේ වතු වගා කිරීමට අනූනව අවුරුදු බද්ද යටතේ ඔවුන්ට ලබාදුන් ඉඩම්වලටත් ඔප්පු තිබුණා. එම ඔප්පුවල වසර අනූනවයක බද්ද යටතේ ඉඩම් පවරාදී තිබුණා. නමුත් අපේ අහිංසක සාමාන්‍ය ජනතාවට එවැනි ඔප්පුවක් හෝ තිබුණේ නැහැ.
අපේ ආණ්ඩුව යටතේ රටේ ඉඩම් ඔප්පුවක් නොමැති සියලුම දෙනාට සිය ඉඩමේ අයිතිය තහවුරු කර ගැනීමට ඉඩම් ඔප්පු ලබාදෙන බව ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා පොරොන්දුවක් ලබාදුන්නේ එවැනි පසුබිමකයි. ඒ වැඩසටහන යටතේ අද මෙහි පැමිණ සිටින සියලූම දෙනාට තම ඉඩම වෙනුවෙන් ඉඩම් ඔප්පුවක් ලබාදෙනවා.
ඉඩමට ඔප්පුවක් නොමැතිව තමන්ට අවශ්‍ය කටයුත්තක් කර ගැනීමට යෑමේදී මේ ජනතාවට විශාල ලෙස ගැටළුවලට මුහුණදීමට සිදු වුණා. කාලයක් තිස්සේ තමන් ජීවත්ව සිටි ඉඩමෙන් ඉවත්ව යෑමට පවා ඇතැමුන්ට තර්ජනය කළා. එවැනි ක්‍රියා ද සිදු වී තිබෙනවා. තම තමන්ගේ ඉඩම්වල නිසි භුක්තිය විඳීමට අවශ්‍ය ලියවිල්ලක් මේ ජනතාවට තිබුණේ නැහැ. එසේ නම් ගයන්ත කරුණාතිලක ඇමැතිතුමාගේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ඉඩම් ඔප්පු ලබාදීමේ මෙම වැඩසටහන යටතේ ඔබේ ඉඩම වෙනුවෙන් නිසි භුක්තිය ලබාදීමයි අද අපි සිදු කරන්නේ.
දිවයින පුරා ඉඩම් ඔප්පු නැති ජනතාවට ඔප්පු දෙනවා !
මේ ආකාරයට දිවයින පුරාම ඉඩම් ඔප්පු නොමැති ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. අද ඔබට ලබාදෙන ඉඩම් ඔප්පුව සින්නක්කර ඔප්පුවක් නොවෙයි. අනූනව බද්ද යටතේ ලබාදුන් ඔප්පුව මෙන් මේ ඔප්පුවෙන් ඔබට ඉඩමේ අයිතිය තහවුරු වනවා. ඉදිරියේදී ඔබේ ඉඩම්වලට සින්නක්කර අයිතිය ලබාදීමටත් අපි කටයුතු කරනවා.
මේ ඔප්පු ලබාදීමෙන් පසු ඔබට ගැටළුවකින් තොරව ඔබේ ඉඩම්වල, වගා බිම්වල වගා කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. මේ ප්‍රදේශයේ විශාල වශයෙන් සිදු වන්නේ වී වගාවයි. ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා නියෝජනය කරන ගාල්ල, හිනිදුම ප්‍රදේශත් අගලවත්ත, රක්වාන, දෙණියාය ප්‍රදේශවලත් කුඩා තේ වතු වගාව සිදුවෙනවා. කෑගල්ල ආශ්‍රිතව රබර් වගාව සිදුවෙනවා. කුරුණෑගල පොල් වගාව සිදු කෙරෙනවා. මේ ආකාරයට රට පුරා කෘෂි කර්මාන්තය සිදු කෙරෙනවා. ඒ ඒ ප්‍රදේශවල සිටින ගොවිමහතුන් නිසා රටේ කෘෂිකර්මාන්තය ඉදිරියට ගමන් කරනවා.
හිනිදුම, බද්දේගම, අකුරැස්ස, අගලවත්ත, දෙණියාය, රක්වාන, කලවාන සිට බලංගොඩ දක්වා තේ වගා කරන කුඩා තේ වතු හිමියන් අද ශ්‍රී ලංකාවේ තේ අපනයනයෙන් වැඩිම ප්‍රමාණයකට නිෂ්පාදන දායකත්වය දක්වනවා.
කවුරුත් අවධානය යොමු නොකළ ප්‍රශ්නයක් !
2002 වසරේ මම අගමැති ලෙස තේරී පත්වූ අවස්ථාවේ මේ රට සහලින් ස්වයංපෝෂිත කර දෙන්නැයි දිගාමඩුළු ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව ඔබ රට සහලින් ස්වයංපෝෂිත කළා. 2004 වන විට රටට අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළින්ම නිෂ්පාදනය වුණා.
නමුත් රටේ කෘෂි ආර්ථිකයට මෙතරම් දායකත්වයක් දක්වන ගොවිමහතුන්ගෙන් බොහෝ දෙනෙකුට තම ඉඩමට අයිතිය පෙන්වීමට ඉඩම් ඔප්පුවක් නොමැතිවීම විශාල ගැටළුවක් බවට පත්ව තිබෙනවා. රටට විදේශ විනිමය උපයා දෙද්දී ඔවුන්ගේ මහන්සිය ඉතා වැදගත් බව බොහෝ අය පැවසුවත් ඔවුන්ට තවමත් සින්නක්කර අයිතියක් ලබා නොදීම පිළිබඳව කාගේවත් අවධානය යොමුවී තිබුණේ නැහැ.
වසර 10ක් ඉඩම භුක්ති වින්දා නම් සින්නක්කර අයිතිය දෙනවා !
එම නිසා ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීම පිළිබඳව ඇමැතිතුමා සමග සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් පසුව අපි පනතක් සම්මත කර ගත්තා. ඒ අනුව ඉඩම් විශේෂ විධිවිධාන කෙටුම්පත සකස් කිරීමට අපට හැකි වුණා. එම කෙටුම්පතට අනුව ඉඩමක වසර 10 කට වඩා භුක්තිය විදි පුද්ගලයන්ට එම ඉඩමේ සින්නක්කර අයිතිය හිමි වෙනවා.
මේ ප්‍රදේශවල වී වගා කරන ජනතාව හෝ රටේ වෙනත් ප්‍රදේශවල තේ වගා කරන ජනතාව හෝ වෙනත් ඕනෑම කෙනෙකුට සින්නක්කර අයිතිය ලබාදීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. අද අපි ලබාදෙන ඉඩම් ඔප්පුව හෝ ඉඩමේ බලපත්‍රය ඉදිරිපත් කිරීමට හැකි සියලුම දෙනාට සින්නක්කර අයිතිය ලබාගැනීමට හැකියාව තිබෙනවා. සින්නක්කර අයිතිය ලබාගැනීමට අකමැති අය සිටිනවා නම් මේ ඉඩම් ඔප්පුව පමණක් ලඟ තබා ගත හැකියි. නැතිනම් වසර 10 ක භුක්තිය පෙන්වා ඔබ සියලුම දෙනාට තම ඉඩමේ සින්නක්කර අයිතිය තහවුරු කර ගැනීමට දැන් හැකියාව ලැබී තිබෙනවා.
මෙච්චර හොඳ වැඩකට කැබිනට් අනුමැතිය ගන්න වසර දෙකක් ගියා !
මීට අදාළ කෙටුම්පත සකස් කරමින් කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහා වසර 02 ක් ගත වුණා. විවිධ බලවේග මේ සඳහා විරුද්ධත්වය ප්‍රකාශ කළා. නමුත් අවසානයේ මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා කටයුතු කර තිබෙනවා. මේ වනවිට සංවිධාන දෙකක් රටේ ජනතාවට සින්නක්කර අයිතිය ලබාදෙන්නට එපා යැයි පවසමින් මීට විරෝධය පළ කරමින් සිටිනවා.
මේවා කුමන අරමුණ මත පදනම් වූ සංවිධාන දැයි තේරුම් ගත නොහැකියි. ජනතාවට අවශ්‍ය තමාගේ ඉඩමක සින්නක්කර අයිතිය ලබාගැනීමයි. මේ ප්‍රතිගාමී බලවේග ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමට අකමැත්ත ප්‍රකාශ කරනවා. ඉඩමක අයිතිය ලබාගැනීම ඔබේ හිමිකමක් බව අවබෝධ කර ගත යුතුයි. නිදහසින් පසු ඩී.එස්. සේනානායක මැතිතුමා ජනතාවට ඉඩම් ලබාදුන්නේත්, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මහවැලි ව්‍යාපාරය ආරම්භ කළේත්, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා උදාගම්මාන වැඩසටහන ආරම්භ කළේත් රටේ ජනතාවට ඉඩමක අයිතිය ලබාදීමේ වැදගත් කම අවබෝධ කර ගත් නිසයි.
ආඩම්බරයෙන් ජීවත් වෙන්න සැළසීම අපේ අරමුණයි !
ඔබට ඉඩමක අයිතිය ඇතිව ආඩම්බරයෙන් ජීවත්වීමට සලසා දීම ඔවුන්ගේ අරමුණ වුණා. නමුත් අද අපේ රජය එම වැඩකටයුත්ත ඉදිරියට කර ගෙන යෑමට උත්සාහ දරණ විට ඊට විරුද්ධව නඩු පැවරීමට මෙම සංවිධාන උත්සාහ දරණවා. රජය ජනතාවගේ පැත්තේ සිටිමින් ඔවුන්ට විරුද්ධව එම නඩුවලට ඉදිරිපත් වන බව ප්‍රකාශ කළ යුතුයි.
නමුත් ජනතාවට සින්නක්කර අයිතිය ලබාදීමට අපේ රජය ගෙන යන වැඩසටහන කිසිවෙකුටත් නතර කිරීමට නොහැකි බව මම විශේෂයෙන් අවධාරණය කරනවා. ජනතාවට සින්නක්කර අයිතිය ලබාදීම වෙනුවෙන් මහ මඟට බැස උද්ඝෝෂණ පවත්වා හෝ එම සින්නක්කර අයිතිය ජනතාවට ලබාදීමට අපි කටයුතු කරනවා. තමන්ට ඉඩමක සින්නක්කර අයිතිය ලබාගැනීමට අවශ්‍ය බවත් ඊට විරුද්ධ වන්නන්ට එරෙහිව රජය සමග පාරට බැසීමට හෝ සූදානම් බවත් බොහෝ අය මා සමග පැවසුවා.
වැඩවසම් ආකල්පවලට තවත් ඉඩදෙන්නේ නෑ !
ජනතාවගේ සින්නක්කර අයිතිය ලබාදීමේ සටන අත්හැරිය නොහැකියි. මීට පෙරත් අපේ ආණ්ඩුවක් යටතේ අවශ්‍ය නීති සම්පාදනය කරමින් ජනතාවට සින්නක්කර අයිතිය ලබාදීමට අප කටයුතු කරමින් සිටියා. නමුත් එදා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය යටතේ එය නතර කිරීමට කටයුතු කළා. නමුත් මෙවර බාහිර බලවේග වලට මෙම වැඩසටහන නතර කිරීමට ඉඩදෙන්නේ නැහැ. රට තුළ නැවත වතාවක් වැඩවසම් ආකල්පය ඇති කිරීමට අපි ඉඩදෙන්නේ නැහැ.
මේ රට දියුණු රටක් බවට පත්වීමට නම් රටේ සියලුම ජනතාවට තම ඉඩමේ සින්නක්කර අයිතිය තිබිය යුතුයි. රටේ සිටින කෝටිපතියන්ට, ලක්‍ෂපතියන්ට තිබෙන ඉඩමක අයිතිය සාමාන්‍ය ජනතාවටත් ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ අයිතිය ජයග්‍රහණය කිරීමට මහ මඟට බැසීමට හෝ අපි සූදානම් බව පැවසිය යුතුයි.
මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට කැපවීම වෙනුවෙන් ගයන්ත කරුණාතිලක ඇමැතිතුමාට මම ස්තූතිවන්ත වනවා. ඉඩම් ඔප්පු ලබාදීම සිදු නොකළානම් එහි ඊළඟ පියවර වන සින්නක්කර අයිතිය ලබාදීම සාර්ථක කර ගැනීමට නොහැකි වෙනවා. රට පුරා ඉඩම් ඔප්පු ලබාදීම සාර්ථක කර ගනිමින් පාර්ලිමේන්තුවේ වැඩකටයුතුත් හොදින් ඉටු කිරීමට එතුමා කටයුතු කරනවා.
ඒ වගේම දයා ගමගේ ඇමැතිතුමාත් රට වෙනුවෙන් වැදගත් වැඩකොටසක් ඉටුකරමින් සිටිනවා. වසර 21 කට පසු සමෘද්ධිය ලැබිය යුතු නව සමෘද්ධි ලාභීන් ලක්‍ෂ හයකට සමෘද්ධි හිමිකම ලබාදීමට එතුමා කටයුතු කර තිබෙනවා. මේ රටේ සිටි පාලකයන් වසර 21 ක් මේ වගකීම පැහැර හැර තිබෙනවා. රටේ මුදල් නැති බව පවසමින් ජනතාව මුලා කර තිබෙනවා. නමුත් අපේ ආණ්ඩුව යටතේ මාස කිහිපයක් ගත වන විට ඔබට සමෘද්ධිය ලබාදීමට අපි කටයුතු කළා.
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා ලෙස එම ක්ෂේත්‍රය දියුණු කිරීමටත් එතුමා කටයුතු කරනවා. තවත් වසර 05ක්, 06ක් ගත වන විට රටට අවශ්‍ය පළතුරු වගාව දියුණු කර ගැනීමට අපට හැකිවනු ඇතැයි මම බලාපොරොත්තු වනවා. කෘෂි නිෂ්පාදන අධි සැකසුම් කලාප ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. මෙම අධි සැකසුම් කලාප හරහා ගොවිමහතුන්ගේ භෝගවල අගය වැඩිකරන විට වැඩි ආදායමක් උපයාගැනීමට ඔවුන්ට හැකි වෙනවා. මේ සියලූ වැඩකටයුතු වෙනුවෙන් දයා ගමගේ ඇමැතිතුමාට මම ස්තඣතිවන්ත වනවා. අවසාන වශයෙන් මේ වැඩකටයුතු වෙනුවෙන් සහයෝගය දක්වන අනෝමා ගමගේ අමාත්‍යතුමියටත් මගේ ස්තූතිය පිරිනමනවා.

