දේශපාලන බලපෑම් වලින් අධිකරණය නිදහස් කළේ මේ ආණ්ඩුවයි - තලතා

දේශපාලන බලපෑම් වලින් අධිකරණය නිදහස් කළේ මේ ආණ්ඩුවයි - තලතා

අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කැපවූ වත්මන් ආණ්ඩුව අධිකරණය යට තිබුණු බලපෑම් ඉවත් කරන්න පියවර රාශියක් ගනු ලැබූ බවත් ඒ නිසා විනිසුරුතුමන්ලාට මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවටත් ස්වාධීන තීන්දු තීරණ ගන්න හැකි තත්ත්වයක් උදාවී ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ පවසයි.

අද වන විට හත්ලක්ෂ පනස් දහසක් පමණ නඩු අධිකරණවල ගොඩ ගැසී ඇති බවත් එබැවින් නඩු කටයුතුවලට පටලැවිලා ඉන්න ජනතාව ඉන්නේ ගොඩාක් දුකින් සහ කණස්සල්ලෙන් බවත් එබැවින් නඩු කියනවාට වඩා හොදයි වෙනත් දෙයක් කර ගෙන ඉන්නවා වැනි අදහසක ජනතාව සිටින බවත් අමාත්‍යවරිය සඳහන් කරයි.

කවුරුත් වෛරක්කාරී කුහක දේශපාලනයෙන් මිදී කටයුතු නොකළොත් රටක් ලෙස ගොඩයාමක් නොමැති බවත් අමාත්‍යවරිය පෙන්වා දෙයි.

අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේ මාතලේ මහාධිකරණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

මාතලේට මෙතෙක් මහාධිකරණයක් නෑ !

මුල ඉදලාම මේ අධිකරණය ස්ථාපිත කිරීමේදී දේශපාලන බලපෑම් තිබුණා.මහාධිකරණයක් නැති ලංකාවේ එකම දිස්ත්‍රික්කය මාතලේ දිස්ත්‍රික්කයයි.මහාධිකරණයක් නොමැතිනිසාම ලග්ගල හෙට්ටිපොල වැනි ප්‍රදේශවල ජනතාව කිලෝමීටර් 150 කටත් වැඩිය දුරක් ගෙවා ගෙන නුවරට යන්න සිදු වුණා.දැන් ලග්ගල මහෙස්ත්‍රාත් අධිකරණයේ ඉදි කිරීම් අවසන් වෙමින් තිබෙනවා.රජයක් ලෙස අපි අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරන්න කැප වෙලා ඉන්නවා.ජනතා අවශ්‍යතා වෙනුවෙන් අපි හැම විටම කැප වෙලා ඉන්නවා.සමහර විට අපි ගන්න තීරණ ජනප්‍රිය නැතිව ඇති.නමුත් අපි ජනතා අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරනවා.අද සමහර විට මේ අධිකරණය මේ විදිහට ස්ථාපිත කරනවා කියලා මාතලේ ජනතාවගෙන් හතරෙන් එකක්වත් දන්නේ නැතිව ඇති.අධිකරණයේ ස්වාධීනත්වය අවශ්‍ය වෙන්නේ බලය තියෙන කොටයි.අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අපි ගොඩාක් දේවල් කළා.අපි අධිකරණයයට තිබුණු බලපෑම් ඉවත් කරන්න පියවර රාශියක් ගත්තා.අපි කළ දේවල් නිසා විනිසුරුතුමන්ලාට මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවටත් ස්වාධීන තීන්දු තීරණ ගන්න පුළුවන් වුණා.හෙට අනිද්දා වෙන කොට හිතපු නැති පනත් දෙක තුනක වෙනස්වීම් සිදු කරනවා.

ජනතාව මේ මහාධිකරණ කටයුතු වැනි දේවල් නොදන්න නිසා මෙන්ම තවත් විවිධ හේතු නිසා උසාවිවල රස්තියාදු වෙනවා.බන්ධනාගාරවලට ගිහිල්ලා බලපුවහම පේනවා අනවශ්‍ය ප්‍රමාද ඇති වෙලා තියෙනවා කියලා.අද හත් ලක්ෂ පනස් දහසක් නඩු අධිකරණවල ගොඩ ගැහිලා තියෙනවා.නඩු කටයුතුවලට පටලැවිලා ඉන්න ජනතාව ඉන්නේ ගොඩාක් දුකින් සහ කණස්සල්ලෙන් බව කිව යුතුයි.නඩු කියනවාට වඩා හොදයි වෙනත් දෙයක් කර ගෙන ඉන්නවා කියලා ජනතාව අද හිතනවා. බන්ධනාගාර ගත වුණහම ඇතැම් අය එළියට එන්නේ වැරදිකාරයෙක් විදිහට.මේ මාතලේ මහාධිකරණය පිහිටුවන කොට විවිධ බාධා ආවා.බලපෑම් ආවා.අපේ අළුවිහාරේ ඇමතිතුමාලා මේක හදන්න විශාල මහන්සියක් ගත්තා.ජනාධිපතිතුමා ගාවටත් මේ සිද්ධිය ගියා.මම ජනාධිපතිතුමාටත් මේ ගැන කිවුවා.පුරා විද්‍යා එකටත් ඕන කිවුවා.මේකට ඉස්කෝලේ පැටලෙවුවා.මෙහි නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම වෙනුවෙන් ලක්ෂ 8500 ක් වැය කරනවා.ඒ අධිකරණය හදන්නේ ශබ්දය පිටතට නොයන විදිහටයි.මට තේරෙන්නේ නැහැ ජනතාව වෙනුවෙන් මේවා කරන කොට ඇයි බාධා කරන්නේ කියලා.අපි වෛරක්කාරී කුහක දේශපාලනයෙන් මිදිලා කටයුතු නොකළොත් රටක් ලෙස අපිට ගොඩ යන්න බැහැ.අපිට මේ කටයුත්තේදී විවිධ බාධා ආවා.ඒවා අපි ජයගත්තා.මම මේ ක්ෂේත්‍රයේ සිටියත් නැතත් මේ භූමිය ආරක්ෂා කරගන්න කියලා මම නීතිඥ සංගමය ඇතුළු සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.අද මේ උත්සව අවස්ථාව සාර්ථක කර ගැනීම සදහා සහාය ලබාදුන් අග්‍රවිනිශ්චයකාරතුමා ඇතුළු සියලු දෙනාටම ස්තූතිවන්ත වෙන බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

මාතලේ නඩු ඇහුවේ මහනුවර !

මෙරට මහාධිකරණයක් නොමැති එකම දිස්ත්‍රික්කය මාතලේ දිස්ත්‍රික්කය වන අතර, මීට පෙර මහාධිකරණයක විභාග වන නඩු කටයුතු සිදු වුයේ මහනුවර මහාධිකරණය මගිනි.

මහාධිකරණයක් නොමැතිවීම හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල, දඹුල්ල, යටවත්ත ,ඉලුක් කුඹුර, ලග්ගල පල්ලේගම, විල්ගමුව වැනි ප්‍රදේශවල ජනතාවට තම කාලය ධනය මහන්සිය කැප කරමින් මහාධිකරණ කටයුතු සඳහා මහනුවරට යාමට සිදු වුණි.

මාතලේ දිසා අධිකරණ බල ප්‍රදේශය, නාවුල මහෙස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශය, දඹුල්ල දිසා අධිකරණ බල ප්‍රදේශය ,මාතලේ මහාධිකරණ බල ප්‍රදේශයට අයත් වෙයි.

මාතලේ මහාධිකරණ බල ප්‍රදේශය 2010.10.11 වැනි දින අති විශේෂ ගැසට් පත්‍රය මඟින් නම් කර ඇති අතර, මේ වන විට ආසන්න වශයෙන් මහාධිකරණයක විභාග විය යුතු නඩු 350 ක් පමණ මෙහි විභාග වීමට ඇත.

අපරාධ නඩු 250 ක් හා සෙසු නඩු 100 ක් පමණ ඒ යටතට අයත් වේ.

ස්ථාපිත කරනු ලබන නව මහාධිකරණයේ මහාධිකරණ විනිසුරු ලෙස මහනුවර පළාත්බද මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක පත් කර තිබේ.

මාතලේ නව මහාධිකරණය ස්ථාපිත කිරීම සදහා රුපියල් මිලියන 41 ක මුදලක් වැය කර තිබේ.

මාතලේ දිස්ත්‍රික්කය සදහා රුපියල් මිලියන 850 ක මුදලක් වැය කරමින් නව අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීමේ කටයුතු අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති අතර ඒ සදහා මුල්ගල තැබීම 2017.12.02 වන දින සිදු කෙරිණි.

අග්‍රවිනිශ්චයකාර ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය,කෘෂිකර්ම වාරිමාර්ග මහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ,මාතලේ නව මහාධිකරණයේ විනිසුරු ලලිත් ඒකනායක, මාතලේ නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් යන මහත්වරුන් ද මෙහිදී කථා කළ අතර,සංචාරක වනංජිවී හා ක්‍රිස්තියානී ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරේ.මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න ,මාතලේනගරාධිපති ඩල්ජිත් අළුවිහාරේ,අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල ය ඇතුළු විනිසුරුවරුන්, නීතිඥයින් අමාත්‍යාංශ නිලධාරීන් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න