ජනාධිපති සිරිසේන විසින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය වලංගු භාවය ප්‍රශ්න කරමින් එය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හරහා බල රහිත කරවා ගැනීමේ උත්සාහයක් දියත්කර ඇති බව වාර්තා වෙයි.
මේ සඳහා වන සුබ දිනයක් පවා පසුගිය සතියේ මෙරට ප්‍රධාන පෙළේ දෛවඥයන් ගණනාවකගෙන් ජනාධිපතිවරයා විමසා තිබුණු බවද වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට සැරසෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී ජනමත විචාරණයක් මගින් සම්මත කරගත යුතු යැයි අධිකරණය නියම කළ සමහර වගන්ති සාමාන්‍ය 2/3 බහුතරයකින් සම්මත කර ඇති නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය තවදුරටත් වලංගුද යන්නයි.
යම් හෙයකින් 19 වැනි සංශෝධනය මේ හේතුව නිසා බල රහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළහොත් නැවතත් 18 වැනි සංශෝධනය ක්‍රියාත්මක වන අතර ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 6ක් දක්වා දිගුවෙයි.
එසේම ස්වාධීන කොමිෂන් සභා සියල්ල අහෝසිව යන අතර නැවත රට පත්වන්නේ 2015 දී පරාජය කල දරුණු ඒකාධිපති ලක්ෂණ ඇතුළත් විධායකයක් යටතටය.
පාර්ලිමේන්තුව 19 සම්මත කරලා : ශ්‍රේෂ්ඨාධිකරණයට මැදිහත් වෙන්න බෑ - ජී.එල්

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී පොහොට්ටු පක්ෂයේ සභාපති ජී.එල්.පීරිස් සඳහන් කර සිටියේ 19 වන සංශෝධනය නීතිවිරෝධී බව ප්‍රකාශ කරන්නැයි අනිද්දා (11 - බ්‍රහස්පතින්දා) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට සූදානමක් ඇති බව ය.
ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙම කටයුත්ත සිදු වන බවත් බ්‍රහස්පතින්දා දිනයේ ඒ සඳහා සුභ නැකතක් බලා ඇති බවට තොරතුරු ඇති බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත් කතානායකවරයා අත්සන යෙදූ පසු එම නීතිය සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයකට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු බලයක් නැති බව ද ජී.එල්.පීරිස් එහිදී පෙන්වා දුන්නේය.
නමුත් යම් ලෙසකින් 19 සංශෝධනය අහෝසි කළහොත් මහින්ද රාජපක්ෂටද නැවත ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්ථාව ලැබෙන බව ද ඔහු කියා සිටියේය.
සිරිසේන බල තණ්හාවෙන්
මේ අතර දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ එක් ධූර සමයකින් පසුව ජනාධිපති ධුරයට සමුදී යන බව සපථ කර බලයට පැමිණි සිරිසේන මේ වන විට බල තණ්හාවෙන් ඔද්දල්ව කටයුතු කරමින් සිටින බවයි.
ඔහු විසින්ම පාර්ලිමේන්තුව අමතා සිය පාර්ශවයේ සහය ගෙනදී සම්මත කරවූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය හරහා අහෝසි කරගැනීමේ උත්සාහයක නියලී සිටින්නේ ඒ නිසා බවත් විචාරක මතය වී ඇත.
එසේම මේ වන විට පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයකින් සම්මත කර ඇති 19 වන ව්‍යවස්ථා සංශෝධනය, කතානායක අත්සන යොදා රටේ මුලික නීතිය බවට පත්කර අවසන් බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් හරහා දැන් එය බල රහිත කිරීම නීති විරෝධී සහ කිසිඳු අයුරකින් ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි තීන්දුවක් ලබාදෙතැයි අපේක්ෂා කළ නොහැකි බවත් විචාරකයන් පෙන්වා දෙයි.

