සිංහරාජ අලිමංකඩ වනසයි : ජනාධිපති සිරිසේන, පරිසර විෂයේ වගකීම ඔබ සතුයි !

සිංහරාජ අලිමංකඩ වනසයි : ජනාධිපති සිරිසේන, පරිසර විෂයේ වගකීම ඔබ සතුයි !

සේවයෙන් ඉවත්ව සිටින කර්නල්වරයෙකු සිදුකරන දැවැන්ත පරිසර හානියක් ගැන වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය සාක්ෂි සහිතව හෙළිදරව් කර තිබේ.

ඒ සම්බන්ධව එම සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක ‌පේෂල පසන් කරුණාරත්න නිකුත් කර ඇති වාර්තාව ‌පහත දැක්වෙයි.

ලෝක උරුමයක් වූ ඒ බිම ගිනි තියලා !

යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂියේ නැගෙනහිර රක්වාන කඳුවැටිය හා ඒ ආශ්‍රිතව පවතින්නා වූ වනාන්තර පද්ධතිය සූවිශේෂි ජෛව විවිධත්වයකින් යුක්ත වන අතර සිංහරාජයේ වෙසෙන අවසාන දැවන්තයන් දෙදෙනා වසරේ වැඩි කාලයක් සක්‍රීය වන ප්‍රදේශයකි. මානික්වත්ත, බෝටියතැන්න ප්‍රදේශය ආශ්‍රිත කලාපය සිංහාරජ අලි සංක්‍රමණ කලාපයක් ලෙසට ලෙස නම් කර ඇත.

සීඝ්‍රයෙන් විනාශවෙමින් පවතින මෙම හඳපාන්ඇල්ල, සිංහරාජ අලි සංක්‍රමණ භූමියේ (අලිමංකඩ) බෝටියතැන්න ප්‍රදේශයේ අක්කර 8ක පමණ ඉඩමක් මේ වන විට අනවසරයෙන් කපා දමා ගිනිතබමින් සිටී. වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය මේ පිළිබඳව සොයා බැලීමේදී දැන ගැනීමට හැකි වූයේ විශ්‍රාමික කර්නල්වරයෙකු යැයි කියාගන්නා අයකු විසින් මෙම විනාශය සිදු කරන බවත් මෙම භූමිය තුල ජලය බෝතල් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා මෙම විනාශය සිදුකරන බවත්ය. මේ වන විට වටිනා දේශීය ශාක ඇතුළු විශල ශාක ප්‍රමාණයක් බැකෝ යන්ත්‍ර යොදාගනිමින් ගලවා දමා ගිනිතබා ඇත. මෙම ගිනි තැබීම නිසාවෙන් මුළු ප්‍රදේශයම අධික දූමාරයකින් වැසී ඇත.

කිසිදු නිල අවසරයක් ගෙන නැත !

අදාළ පුද්ගලයා වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය විසින් දුරකතනයෙන් සම්බන්ධ කර ගත් අවස්ථාවේදී දැන ගැනීමට හැකි වූයේ මෙම ව්‍යාපෘතිය සඳහා හෝ වන හානිය සම්බන්ධව කිසිඳු අවසරයක් ලබා නොමැති බව සහ ජල පෝෂක ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශය පාංශු සංරක්ෂණ කලාපයක් වන බැවින් බැකෝ යන්ත්‍ර යොදා ස්භාවිකව පවත්නා ගස්, ගල් ගලවා ඉවත් කිරීමට කිසිඳු අවසරයක් ලබාගෙන නොමැති බවත්ය.

මෙම ප්‍රදේශය සිංහරාජ පරිවාර වනාන්තරයක් වන හඳපාන්ඇල්ලෙන් ආරම්භ වන ඉතා වටිනා දොළ මාර්ගයකට මායිම් වන අතර එම දොළ මාර්ගයේ ජල පෝෂක කලාපයක්ද වේ. මෙම වන පියස සිංහරාජ දැවන්තයන් වන හස්තීන් දෙදෙනා සිංහාරාජයත් දෙල්වල, වලංකන්ද රක්ෂිත දෙසටත්, පන්නිල දෙසටත් සංක්‍රමණය වීමේදි භාවිත කරන ප්‍රධාන අලිමංකඩ ලෙසටද හඳුනාගෙන ඇති වටිනා වනාන්තර ප්‍රදේශයක් වන අතර පතන (මාන) වලින් ගහණ භූමියකි.

පරිසර අමාත්‍යාංශය දැනුවත් !

මේ පිළිබඳව දැනුවත් කරමින් අප සංවිධානය විසින් පරිසර අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන ගණනාවකකට ලිපි මඟින් දැනුවත් කර ඇත. එහිදී මූලික වශයෙන් මෙම කර්මාන්තශාලාව ඉදිකිරීමෙන් මෙම සංවේදී පරිසර පද්ධතිය විනාශ වී කර්මාන්ත පුරයක ආරම්භය විය හැකි බැවින් එම කර්මාන්ත ශාලාවට සහ වන විනාසයට අවසර නොදෙන ලෙසටත්, දිගින් දිගටම මෙම පරිසර කලාපයට එල්ල වන බලපෑම් අවම කර ගැනීම සඳහා එම කලාපය පරිසර සංවේදී කලාපයක් ලෙස නම් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසටත්, මෙම විනාශය සිදුකල අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත් දන්වා ඇත.

මෙම වටිනා සංවේදී කලාපය රැක ගැනීම මෙන්ම දැනට ඉතිරි වී ඇති තෙත් කලාපීය අලි දෙදෙනාගේ අනාගත ආරක්ෂාව තහවුරු කිරීමද අප සියළු දෙනාගේම වගකීම වේ. එබැවින් මේ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු අතර ඒ සඳහා සියළු දෙනා එක්විය යුතුය.

පේශල පසන් කරුණාරත්න
මාධ්‍ය සම්බන්ධීකාරක
වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය

FB IMG 1563415387139

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න