මහා සංඝරත්නය සම්බන්ධයෙන් කිසිඳු විවේචනයක් සිදු නොකරන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තමන්ට අවවාද කළ බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පැවැසීය.
මහා සංඝරත්නය සම්බන්ධයෙන් තමන් කිසිඳු විවේචනයක් සිදු නොකළ බවත් ඕනෑම අවස්ථාවක මහා සංඝ රත්නයට වැද නමස්කාර කිරීමට තමන් සූදානම් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මහා සංඝරත්නය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයක් ඔස්සේ රන්ජන් රාමනායක අමාත්‍යවරයා මෑතකදී සිදුකළ ප‍්‍රකාශය පිළිබඳ කරුණු දක්වන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ කළ දැනුම් දිමකට අනුව ඊයේ (17) පස්වරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍යවරයා හමුවේ පෙනි සිටීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී පස්වරු 3.00 සිට පැය එකහමාරකට ආසන්න කාලයක් රන්ජන් රාමනායක අමාත්‍යවරයා විසින් තමන් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ හමුවේ දීර්ඝ පැහැදිලි කිරීමක් කරනු ලැබීය.
තමන් මහා සංඝරත්නය විෂයෙහි අපහාසායක් හෝ නින්දාවක් සිදුවන ආකාරයේ කිසිදු ප‍්‍රකාශයක් සිදුකර නොමැති බවත් තමන් සෑම අවස්ථාවකම මහා සංඝරත්නයට ගෞරව කරන බවත් එහිදී ප‍්‍රකාශ කළ බව රන්ජන් රාමනායක අමාත්‍යවරයා පැවැසීය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වු රන්ජන් රාමනායක අමාත්‍යවරයා තවදුරටත් මෙසේද කීය.
‘‘මහා සංඝරත්නයෙන් සමාව ගන්න මම වරදක් කරලා නැහැ. අපචාර කරන චිවරධාරීන්ට නම් මට වඳින්න බැහැ. ඇතැම් චීවරදාරින් සම්බන්ධයෙන් මට ලැබුණු පැමිණිලි පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපි ගොනුවක් අග‍්‍රාමාත්‍යවරයාට පෙන්නුම් කළා. ඒ සියලූ තොරතුරු මා සතුව තිබෙනවා.
මේ ප‍්‍රකාශය ගැන සමාව ගන්න කියලා මට කවුරුත් තාම කියලා නැහැ. ත්‍රෛනිකායක මහා නායක හිමියන් වගේ සිල්වත් මහා සංඝරත්නය මට කිව්වොත් රන්ජන් මේ කරපු ප‍්‍රකාශයට සමාව ගන්න කියලා මම උන්වහන්සේලාගෙන් සමාව ගන්න සූදානම්.
එහෙම නැතුව මැරයො වගේ කටයුතු කරන චීවරධාරීන්ගෙන් මට සමාව ගන්න බැහැ. මේ අය බෞද්ධ භික්ෂූන් වහන්සේලා නෙමෙයි මේ අය හැසිරෙන්නේ අයි. ආර්. සී කාරයෝ වගෙයි‘‘

