Language Switcher

V2025

තමන්ට පක්ෂ පිරිස් ජීවත්වන, විරුද්ධ පිරිස් මියයන යුගයක් නැවත නිර්මාණය කළ යුතුද?

රටේ ආරක්‍ෂාව තහවුරු කරලීම උදෙසා තමන්ට යලිත් බලය ලබාදෙන ලෙස මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ ඉල්ලා සිටියත් ඔවුන්ගේ පාලන කාලයේ තහවුරු වී තිබුනේ රටේ ආරක්‍ෂාව නොව ඔවුන්ගේ හිතවතුන්ගේ ආරක්‍ෂාව පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

රවිරාජ්, මහේෂ්වරන් යන මන්ත්‍රීවරුන් අධිආරක්‍ෂිත කලාප තුළ මරා දැමුනු අතර, ඒ කිසිඳු ඝාතනයකට වගකිව යුත්තෙක් නීතිය ඉදිරියට පැමිණවීමට රාජපක්‍ෂවරු අසමත් වූ බවද වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් හෙළි කළේය.

යාපනය තිරුනේල්වේලි කෘෂිකර්ම මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසුව පැවති උත්සව සභාව අමතමින් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීය.

තිරුනෙල්වේලි කෘෂිකර්ම මධ්‍යස්ථානය 1954 වර්ෂයේ එවක කෘෂිකර්ම ඇමතිව සිටි දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා විසින් ආරම්භ කිරීමට කටයුතු කළා. යුද්ධය පැවති සමයේ අවශ්‍ය තරම් නිලධාරීන් නොසිටියත් මෙම කෘෂිකර්ම මධ්‍යස්ථානය හරහා විශාල වැඩ කොටසක් මෙම ප්‍රදේශයට සිදුකර තිබෙනවා. කෘෂිකාර්මික පරීක්ෂණ සිදුකරමින් ගොවි ජනතාවට සිදුකරන මෙහෙය පිළිබඳව ඔබ සියළු දෙනාටම මගේ ස්තුතිය පළකරනවා.

දියුණු වගා ක්‍රම වෙත තවත් යොමුවෙන්න !

පසුගියදා නච්චාදුව ප්‍රදේශයේ උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ ප්‍රමිතියෙන් යුතු ප්‍රමාණයෙන් විශාල කෘෂි බෝග අස්වැන්නක් ලබාගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයාට මම උපදෙස් ලබාදුන්නා. මෙහි විශාල ප්‍රමාණයේ වට්ටක්කා හා පුහුල් අස්වැන්නක් අද අපට දැකගැනීමට හැකි වුණා. එවැනි ප්‍රමිතියෙන් යුතු විශාල ප්‍රමාණයේ පළතුරු හා එළවළු අස්වැන්නක් ලබාගත හැකි වගා ක්‍රම වලට අප යොමු විය යුතුයි.

අනාගතයට ගැලපෙන ලෙස කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට අප පියවර ගත යුතුයි. උතුර උතුරු මැද හා නැගෙනහිර ප්‍රදේශ ආහාර නිෂ්පාදන ප්‍රදේශ වශයෙන් වෙන්කර පවත්වාගෙන යෑමට අප සැලසුම් කර තිබෙනවා. එම ප්‍රදේශ මගින් රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එවැනි ශක්තිමත් තත්වයකට මෙම ප්‍රදේශ පත්කිරීමට දියුණු වාරි මාර්ග පද්ධති නවීන කෘෂිකර්ම ක්‍රම ශිල්ප හා නවීන සත්ව පාලන ක්‍රම අවශ්‍ය බව සඳහන් කළ යුතුයි.

අස්වනු ආරක්ෂා කරන්න රට පුරා ශීතාගාර !

නච්චාදුව කෘෂි නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානය තුල පළමු ශීතාගාරය ඇති කිරීමට පසුගිය දා අප පියවර ගත්තා. එවැනි ශීතාගාර කිහිපයක් පළමුවෙන් දඹුල්ල, වැලිමඩ ප්‍රදේශවල ඇති කර එහි ප්‍රගතිය අනුව යාපනය ඇතුළු අනෙක් ප්‍රදේශ වලත් ඇති කිරීමට පියවර ගන්නවා. රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම දායකත්වයෙන් රටපුරා ශීතාගාර 150 – 200 ක් අතර ප්‍රමාණයක් ඇති කිරීමට අප සැලසුම් කරනවා.

නව බීජ වර්ග හදුන්වාදීම හා නාස්තිය අවම කිරීම ඇතුළු නව තාක්ෂණය හදුන්වාදී පෞද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් ගොවි මහතාත් එක්වන නව ක්‍රමවේදයක් තුළින් සාර්ථකව ඉදිරියට ගමන් කිරීමට අප ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. තරඟකාරී මිලකට නිෂ්පාදන කිරීමට අවශ්‍ය ආධාර හා උපකාර ලබාදීමට අප කැපවී සිටිනවා.

විසිවන ශතවර්ෂයේ කෘෂිකර්මාන්තයෙන් ඉවත්වී විසිඑක්වන ශතවර්ෂයේ නවීන කෘෂිකර්මාන්තයට අප යොමුවිය යුතුයි. එම පරිවර්තනය සිදුකිරීමට කටයුතු කරන සියලූ දෙනාටම මගේ ස්තුතිය පළ කරනවා.

අද දිනයේ මයිලඩි වරාය විවෘත කිරීම, මයිලඩි නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීම හා තිරුනෙල්වලි මෙම කෘෂිකර්ම මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ල විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කළ උත්සව සඳහා සහභාගී වීමටත් නල්ලූර් කෝවිලට යෑමටත් මට අවස්ථාව ලැබුණා. එහිදී යාපනයේ ජනතාව නිදහසේ ජීවත්වනවා මට දැකගන්න ලැබුණා. බියෙන් සැකෙන් තොරව අද රටේ ජනතාව ජීවත් වෙනවා. මෙවැනි නිදහස් වටපිටාවක් අප අගය කළ යුතුයි.‍

පොහොට්ටුව කියන කතා !

"දැන් ජනතාව බයෙන් ජීවත්වනවා. බෝම්බකරුවන් ප්‍රහාර එල්ල කරනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිව හා ගොඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි කාලය තුල ආරක්ෂාව හොඳට තිබුණා. අනාගතයේත් එය සිදුකිරීමට පියවර ගන්නවා”යැයි පසුගිය 11 වනදා පැවති පොදුජන පෙරමුණු සම්මේලනයෙන් පසුව එහි මන්ත්‍රීවරු ප්‍රකාශ කර තිබුණා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය අප පාලන කාලය තුල සිදුවූ බව අප පිළිගන්නවා. සත්‍ය ලෙසම සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට අපට අවශ්‍ය නිසා ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හා වෙනම කමිටුවක් පත්කර තිබෙනවා. මෙම ප්‍රහාරයට සම්බන්ධ සෑම පුද්ගලයෙකුම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ වලට හැකි වුණා. එම ප්‍රහාරය සම්බන්ධයෙන් 200ක පමණ පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී අත්අඩංගුවට ගෙන තිබෙන පිරිස සමඟ සුළු හෝ සබඳතාවක් පැවැත්වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පරීක්ෂණ සිදුවන බව කිව යුතුයි.

මහේෂ්වරන් - රවිරාජ් ඝාතන !

එදා මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙසත් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙසත් කටයුතු කළ කාලයේ සිදුවූයේ කුමක්ද කියා මම අහන්න කැමතියි. රවිරාජ් මන්ත්‍රීතුමා මහ මග ගමන් කරමින් සිටියදී ඝාතනය කළා. එයට සම්බන්ධ කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට එදා නොහැකි වුණා. මහේෂ්වරන් මන්ත්‍රීතුමා ශිවම් කෝවිලේ වන්දනා කරනවිට ඝාතනය කළා. එම ඝාතනයට වගකිව යුතු සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුණා. ශිවම් කෝවිල පිහිටා තිබෙන්නේ වරාය අසළයි. වරායට දැඩි ආරක්ෂාවක් තිබෙනවා. එසේ නම් ඒ අය කියන හැටියට එල්ටීටීඊ සංවිධානයෙන් පැමිණ මහේෂ්වරන් මන්ත්‍රීතුමාට වෙඩිතැබුවේ කොහොමද? අනෙක් අතට කොළඹසිටි සියලූම එල්ටීටීඊ සාමාජිකයින් අත්අඩංගුවට ගෙන තිබුණු බව ඔවුන් සඳහන් කර තිබුණා. ඇයි එහෙනම් මෙම ඝාතනවල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුණේ. නැවතත් ඔබට අවශ්‍ය කරන්නේ එවැනි පාලනයක් ද?

මහේෂ්වරන්ගේ ආරක්ෂාව ඉවත්කරා !

ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ලබාදුන්නොත් සපයා ඇති ආරක්ෂාව ඉවත් කරන බව එදා මහේෂ්වරන් මන්ත්‍රීතුමාට දැන්වූවා. නමුත් මහේෂ්වරන් මන්ත්‍රීතුමා අප හා එක්ව ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා. එවිට ආරක්ෂාව ඉවත් කළා. පසුව ඝාතනයට ලක්වුණා. රවිරාජ් මන්ත්‍රීතුමා සිංහලෙන් කතාකිරීම අපිට හොඳ නැහැ. අපිට අවාසියි කිව්වා. එතුමාත් ඝාතනය වුණා. නැවත මෙවැනි යුගයකට යනවාද?

කොළඹසිටි සෑම එල්ටීටීඊ සාමාජිකයෙකුම අත්අඩංගුවට ගත්තා නම් මෙහේෂ්වරන් මන්ත්‍රිතුමා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වුණේ ඇයි? නිතිය හා සාමය යනු මෙය දැයි මම අහන්න කැමතියි.

අප බලයට පැමිණ එම ඝාතකයන්ට අදාලව විභාග කිරීම් ඇරඹුවත් තවමත් සාක්ෂි සොයාගන්නට බැරි වි තිබෙනවා. අනෙක් සියල්ලටම සාක්ෂි තිබුනත් මෙම සිද්ධියට සාක්ෂි නොතිබීම පිළිබඳව අප පුදුම වෙනවා. කෙසේ වුවත් මෙම ඝාතන පිළිබඳව පරීක්ෂණ සඳහා ලැබී තිබෙන සාක්ෂි මත පදනම්ව පරීක්ෂණ කටයුතු ඉදිරියට පවත්වාගෙන යනවා.

පසුගිය පාලනය සමයේ උදයන් පුවත්පතට හොඳම ආරක්ෂාව ලැබුණු නිසා මාධ්‍යවේදීන් 6 දෙනෙකු ඝාතනය වුණා. නමුත් වාර්තමානය වන විට නිදහසේ ජිවත් විය හැකි වටපිටාවක් අප ඇතිකර රටේ නීති කඩකරන පුද්ගලයින්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කළ යුතුයි.

තමන්ට පක්ෂ පිරිස් ජීවත්වන, විරුද්ධ පිරිස් මියයන යුගයක් නැවත නිර්මාණය කළ යුතුද? නැවත එවැනි තත්ත්වයක් නිර්මාණය කිරීමට අවශ්‍ය දැයි මම ඔබෙන් අහන්න කැමතියි.

මෙම අවස්ථාවට කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මාවෙයි සේනාධිරාජා, එම්. එම්. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, ශ්‍රී සරවණභවන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී සිවඥාණසෝති, ග්‍රාමීය ආර්ථික කටයුතු වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එෆ්. රුවන් චන්ද්‍ර, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය එම් ඩබ් වීරකෝන්, යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වී සිටියහ.

jaffna R