Language Switcher

V2025

ගෝඨාගේ සිද්ධි : විමර්ශන ගැන අසතුටුදායී තත්ත්වයක් !

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු ප්‍රධාන සිද්ධි 5ක් සම්බන්ධයෙන් අවිනිශ්චිත වාර්තා ඉදිරිපත් නොකරන ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට උපදෙස් දී තිබේ.

නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා වෙත අගෝස්තු 23 වන දා ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ, අදාළ සිද්ධි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කරන ලද වාර්තා අවිනිශ්චිත වාර්තා බව පෙනී යන බවය.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු ප්‍රධාන සිද්ධි 5ක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා කළ දැනුම් දීමට අනුව වැඩබලන පොලිස්පතිවරයා අගෝස්තු 21 වන දා ප්‍රතිචාර දක්වා තිබිණි.

මේ පිළිබදව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි රුවන් ගුණසේකර පැවසුවේ, අදාළ සිද්ධිවලට සම්බන්ධ විමර්ශන උධෘත මේ වන විටත් නීතිපතිවරයාට භාර දී ඇති බවය.

කෙසේ වෙතත්, නීතිපතිවරයා අගෝස්තු 23 වන දා වැඩබලන පොලිස්පතිවරයා වෙත යැවූ ලිපියෙහි දැක්වුණේ, අදාළ වාර්තා සම්බන්ධයෙන් 'අසතුටුදායක තත්ත්වයක් පැන නැගී ඇති' බවය.

ඊට බලපා ඇති කරුණු: 

• සම්පූර්ණ සාක්ෂි තත්ත්වය අපැහැදිලි වීම

• ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, මුතූර් හිදී සහන සේවකයින් 17 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පිළිබදව පැහැදිලි අනාවරණයක් නොමැති වීම

• විමර්ශනවල ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් කරුණු අනාවරණය නොවීම

• විමර්ශන අවසන් කිරීමට ගත වන නිශ්චිත කාල සීමාව සදහන් නොකිරීම

• නීතිපතිවරයාගෙන් අවශ්‍ය නෛතික උපදෙස් පැහැදිලිව සදහන් කර නොතිබීම

• විමර්ශන ආරම්භ කර වසර ගණනක් ගත වුව ද විමර්ශන මෙතෙක් අවසන් නොවීම

කෙසේ වෙතත්, මෙම සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදී ප්‍රමාදයක් සිදු වන්නේ ද යනුවෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකට ප්‍රතිචාර දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ, එවැනි ප්‍රමාදයක් නොමැති බවය.

සිද්ධි 6ක් පිළිබද වාර්තා කැඳවයි :

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු ප්‍රධාන සිද්ධි 6ක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවූයේ, මීට සති දෙකකට ඉහතදීය.

ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන විමර්ශන 5 ක් පිළිබඳ නීතිපතිවරයා විසින් ඉකුත් 15 වන දා පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමිනි.

නීතිපතිවරයා විමසා ඇති අදාළ විමර්ශන මෙසේය.

1. ලසන්ත වික්‍රමතුංග ඝාතනය

2. වසීම් තාජුඩීන් ඝාතනය

3. තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම

4. කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධිය

5. මුතූර් හිදී සහන සේවකයින් 17 දෙනෙකු ඝාතනය කිරීම

එම සිද්ධි පහට අදාළ විමර්ශන ප්‍රමාදයකින් තොරව අවසන් කර, විමර්ශන උධෘත ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණ.

ඊට අමතරව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය පිළිබදව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජෙෂ්‍යඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පොලිස්පතිවරයා කරුණු විමසා තිබිණි.

වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම :

මේ අතර, කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමර‍සේකරට පසුගිය අගහරුවාදා (අගෝස්තු 27) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ අධිචෝදනා භාර දුන්නේ ය.

ඒ, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනි.

අනතුරුව රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය. ඊට අදාළ නඩුව සැප්තැම්බර් 19 වන දා යළි කැඳවීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ :
1ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ නම් කරනු ලැබුවේ, පසුගිය අගෝස්තු 11 වෙනිදා ය.
නීතිපතිවරයා විසින් වාර්තා කැඳවන ලද ඉහත සිද්ධි සියල්ල ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරය දැරූ සමයේ සිදුවූ ඒවාය.

2015 ආණ්ඩු පෙරළියෙන් පසු ගෝඨාභය රාජපක්ෂ පරිපාලන හා දේශපාලන ක්‍ෂේත්‍රයෙන් ඈත් වී කටයුතු කළ අතර, ජනමාධ්‍ය ආයතනවලට සහ ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර දියත් වූ ඇතැම් ප්‍රහාර මෙන් ම දූෂණ වංචා සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල විය.

කෙසේ නමුත් එකී චෝදනා ප්‍රතික්ෂේප කරන ගෝඨාභය රාජපක්ෂ තමන්ට එරෙහිව නැගෙන චෝදනා හඳුන්වනු ලබන්නේ දේශපාලන "පළිගැනීම් සහ මඩ ගැසීම්" ලෙසය.

රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදු වූ බව පැවසෙන අපරාධ හා මූල්‍ය වංචා දූෂණ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ආරම්භ කළ අපරාධ හා මූල්‍ය පරීක්ෂණ කිහිපයකට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාගෙන් අවස්ථා කීපයකදී ප්‍රකාශ ලබා ගෙන තිබිණි.

ඊට අමතරව, අමෙරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු වූ හෙයින් එරටේද ඔහුට එරෙහිව නඩු දෙකක් ගොනු කර ඇතැයි පසුගිය අප්‍රේල් මාසයේදී වාර්තා විය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය:

2

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට මාස කීපයකට පෙර සිදු වූ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සම්බන්ධයෙන් එවක ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගත්තේ 2018 වසර අගභාගයේදීය.

ඊට අමතරව, සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කර ඇත.

දෙමළ ජාතික තරුණයෙකු වධ හිංසාවට ලක්කිරීමේ චෝදනා මත ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) ද කැලිෆෝනියාවේ අධිකරණයක සිවිල් නඩුවක් පවරා තිබිණි.

කෙසේ වෙතත්, එකී චෝදනා ප්‍රතික්ෂේප කළ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සිය නීතිඥයන්ට උපදෙස් දී ඇති බව පැවසීය.

මූල්‍ය වංචා පිළිබඳ චෝදනා:

3 1

ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි ඔහුට මූල්‍ය වංචා චෝදනාවක් එල්ල වී තිබේ.

ඊට අදාළව නීතිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සත් දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු පැවරූ නමුත් රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් ඔහුව අත්අඩංගුවට ගැනීම වළකා ඇත.

රාජ්‍ය සම්පත් වැය කරමින් ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම, 'අවිධිමත් ක්‍රියාවලියක්' ලෙස, 2014 ට අදාළ විගණනයේ සඳහන් බව, එම කරුණ සම්බන්ධයෙන් 2018 පෙබරවාරි 6 වන දින නිකුත් කළ විශේෂ වාර්තාවේ විගණකාධිපතිවරයා සඳහන් කරයි.

කෞතුකාගාරය ඉදිකෙරුණේ, ඩී ඒ රාජපක්ෂ පදනම හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව සමග ඇති කර ගත් නීත්‍යනුකූල එකඟතාවක් මත වන බැවිනුත්, එසේ ම එය සිවිල් ගනුදෙනුවක් බවත් පවසමින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් චෝදනා ප්‍රතික්ෂේප කරමින් අධිකරණයට කරුණු දක්වා තිබිණි.

ඇවන්ට් ගාර්ඩ් පාවෙන අවි ගබඩාව:

4
'ඇවන්ට් ගාර්ඩ්' පාවෙන අවි ගබඩාවට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට එල්ල වන චෝදනා යටතේ ද ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නඩු පවරා ඇත.

ගිවි අවි පනතේ 27 (1) වගන්තිය යටතේ වරද කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම සිදුකර ඇති බවට ප්‍රමාණවත් කරුණු විමර්ශන සටහන් සහ ලේඛනමය සාක්ෂි අධ්‍යනයේදී පෙනෙන බව පොලිසිය පවසයි.

ගාලු මුහුදේ නවතා තිබූ නෞකාවක තිබී එවක අවි ගබඩාවක් සොයා ගැනුණු අතර රක්නා ලංකා ආරක්ෂක සමාගමට අයත් යැයි සඳහන් වූ අවි ගබඩාවක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තිබිය දී සොයා ගන්නා ලදී.

ජනාධිපතිවරණයෙන් අනතුරුවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දිගටම බලයේ රැදී සිටීමට හමුදාව යොදා ගෙන කුමන්ත්‍රණයක් දියත් කළ බවට එල්ල වන චෝදනාව සහ ගාල්ලේ ආයුධ තොගය අතර සම්බන්ධයක් පවතින්නේ දැයි විමර්ශන පවත්වන බව එවක පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසී සිංහල සේවයට එකල පැවසීය.

මිග් යානා ගනුදෙනුව:

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් ද ගෝඨාභය රාජපක්ෂට චෝදනා එල්ල වී තිබේ.

පසුගිය රජය සමයේ මත භේදයට තුඩු දුන් මිග් ගුවන් යානා මිලදී ගැනීමට අදාළ ප්‍රධාන ලේඛන අස්ථානගත වීම පිළිබඳව පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2016 අගෝස්තු 9 වන දා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියම කළේය.

එම මිග් යානා ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කර ඇති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අයත් දේපළ කිහිපයක් විකිණීම, උකස් කිරීම සහ පැවරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අතුරුදන් වීම්:

5

මේ අතර, පසුගිය රජය සමයේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරය දරද්දී සිදුවූ අතුරුදන් වීම් සම්බන්ධ පැමිණිලි ගණනාවක් ද පවතී.

කොළඹ ජාත්‍යන්තර පාසලේ (CIS) ආදි ශිෂ්‍යයකු වූ රජීව් නාගනාදන් සහ ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු අතුරුදන්ව ඇත්තේ 2008 වසරේ සැප්තැම්බර් මස 17 වන දා සිටය. ප්‍රදීප් විශ්වනාදන්, තිලකේශ්වරන් රාමලිංගම්, ජමාල්ඩීන් ඩිලාන් සහ මොහොමඞ් සාජිත් අතුරුදන් සෙසු තරුණයෝ වෙති.

මේ අතර, 2008 අගෝස්තු 08 වෙනිදා සිට සැප්තැම්බර් මස 17 වෙනිදා අතර කාලය තුළ කොටහේන, වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයකදී තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

2008 සහ 2009 අවධියේ තරුණයන් එකොළොස් දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගිය බවට ද පැමිණිලි තිබේ.

කෙසේ වුවද, එවක රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත එල්ල කෙරෙන චෝදනා හුදෙක් දේශපාලන සහ ජාත්‍යන්තර උවමනාවන් මත ක්‍රියාත්මකවන පළිගැනීම් බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ජාතිකවාදී කණ්ඩායම්වල අදහස වේ.

මේ අතර, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට තේරී පත්වුවහොත් අතුරුදන් වීම් පිළිබද විමර්ශන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවයට පැවසීය.

(බීබීසී)