Language Switcher

V2025

ඉටුකිරීමට නොහැකිවූ පොරොන්දු ගැන අගමැති කියයි !

පසුගිය ජනාධිපතිවරණයේ දී ලබාදුන් පොරොන්දුවලින් බොහොමයක් මේ වන විට ඉටු කර තිබෙන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට සහ වාර්ගික ගැටලූව සඳහා දේශපාලන විසදුමක් ලබාදීමට වූ පොරොන්දු ඉටු කිරීම වෙනුවෙන් බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ජනතා වරම අපේක්ෂා කරන බව පවසයි.

පසුගිය වසර කිහිපය තුළ දී ඒකාබද්ධතාව හා  ශ්‍රී ලංකික අනන්‍යතාවය ඇති කිරීමට හැකි වූ බව පෙන්වා දුන් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා  ඉදිරි වසර 05ක කාලය තුළ දී එය තවදුරටත් තහවුරු කිරීමට පියවර ගන්නා බව ද පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මෙම අදහස් පළ කලේ පසුගියදා අරලියගහ මන්දිරයේ පැවති භාෂා පුහුණුකරුවන් දිශාභිමුඛගත කිරීමේ ජාතික වැඩසටහන යටතේ දීපව්‍යාප්තව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ කාර්යය සඳහා සුදුසුකම් සැපිරූ පුද්ගලයන් වෙත පුහුණුව සඳහා කැදවීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමිනි.

මෙහිදී සුදුසුකම් සැපිරූ 1200 ක් වෙනුවෙන් කැඳවීමේ ලිපි ප්‍රදානය කෙරුණු අතර එහිදී  වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.

"පසුගිය සෙනසුරාදා දින මා යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. 2009/2010 වසරවල තිබූ තත්වයට වඩා වෙනස් යාපනයක් දැන් දැක ගැනීමට හැකි වෙනවා. දෙමළ ජනතාව පමණක් නොව සිංහල ජනතාවත් දැන් යාපනයේ ජීවත් වෙනවා. එම ප්‍රදේශවලින් දැන් සංහිදියාවේ ප්‍රතිඵල දැක ගැනීමට හැකියාව තිබෙනවා. එයට එකතු වී වැඩකටයුතු සිදු කරන ජනතාවක් දැන් යාපනයේ සිටිනවා.

එම ප්‍රතිඵලය යාපනයට පමණක් සීමා වෙලා නැහැ. රටේ දකුණු ප්‍රදේශවලත් සංහිදියාව ඉදිරියට පැමිණ තිබෙනවා. එසේ සංහිදියාව ඉදිරියට පැමිණීමෙන් ශ්‍රී ලාංකීය අනන්‍යතාව ශක්තිමත් වෙනවා. ශ්‍රී ලාංකීය අනන්‍යතාව ශක්තිමත් වූ විට සැබෑ එකමුතුභාවය රටේ වර්ධනය වනවා.

2015 දී අපි වරමක් ලබාගත්තා. ඒ රටේ ජීවත්වන විවිධ ජන කොටස් එක්සත් කිරීමට හා සියලූ දෙනා පිළිගන්නා ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් මත පදනම්ව රටක් ලෙස ඉදිරියට යාමටයි. රටේ සියලූ දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස අප පිළිගත යුතුයි. එම ශ්‍රී ලාංකිකභාවය රැක ගැනීමට කිසිදු බියකින් සැකයකින් තොරව අපි ක්‍රියා කරනවා.

ඕනෑම ජන කොටසකට තමන්ගේ භාෂාවත්, සංස්කෘතියක් අගය කොට ඒවා වර්ධනය කිරීමට අයිතියක් තිබෙනවා. අනෙකුත් භාෂාවන්ට හා ආගම්වලට ගෞරව කරමින් තමන්ගේ භාෂාව පිළිබඳව ආඩම්බර වීම හා ඒ වෙනුවෙන් ක්‍රියාකිරීම මිනිසුන්ගේ අයිතියක්. එම අයිතිය පිළිගෙන ක්‍රියාකරන්නේ නම් ගැටලූ බොහොමයක් විසදෙනවා.

ජාතික ගීය සිංහලෙන් පමණක් නොව දමිල භාෂාවෙන් ද ගායනා කිරීමට අපි යෝජනා කළා. ඇතමුන් එම යෝජනාව අර්ථ දක්වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට රට භාරදීමක් ලෙසයි.

ඩී. එස්. සේනානායක මැතිතුමා ජාතික ගීය දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමට පියවර ගත්තා. 1981 දී අධ්‍යාපන හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස මම යාපනයේ සංචාරය කළා. එහිදී ජාතික ගීය සිංහල භාෂාවෙන් මෙන්ම දෙමළ භාෂාවෙන් ද ගායනා කළා. එකල එය කිසිවෙකුටවත් ප්‍රශ්නයක් වුණේ නැහැ.

නමුත් නැවත අපි එම යෝජනාව ගෙන ආ විට බොරු ප්‍රශ්න මතු කළා. ප්‍රධාන භාෂාවෙන් හැරුණු කොට වෙනත් භාෂාවකින් ජාතික ගීය ගායනා කරන්නේ කුමන රටේ ද කියා අපෙන් ප්‍රශ්න කළා. නමුත් එය ව්‍යවස්ථාව තුළම ඇතුළත්වී තිබුණා.

සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කලත් අවසාන වශයෙන් අපි කියන්නේ අපි සැවොම එක මවකගේ දරුවෝ කියලා. තමන්ට හුරු පුරුදු භාෂාවෙන් ජාතික ගීය ගායනා කළ විට සියලූ දෙනාටම ශ්‍රී ලාංකේය අනන්‍යතාව පිළිබඳව හැඟීමක් ඇති වෙනවා. ඒ හරහා ශ්‍රී ලාංකීය අනන්‍යතාව ශක්තිමත් වෙනවා.

ප්‍රශ්න මැදින් අපි ඉදිරියට ගමන් කළා. බොහොමයක් ප්‍රශ්න ගම් හා නගරවල කෘතිමව ඇති කළ ප්‍රශ්න බව සඳහන් කළ යුතුයි. කෙසේ වෙතත් අපි සංහිදියාව ශක්තිමත් කිරීමට පියවර ගත්තා.

මනෝ ගනේෂන්ගේ විශේෂය !

ජාතික ඒකාබද්ධතාව හා සංහිදියාව වෙනුවෙන් වෙනම අමාත්‍යවරයෙකු පත්කිරීමට 2015 දී මා ජනාධිපතිතුමාට යෝජනා කළා. ඒ සඳහා සුදුස්සා විමසීමේදී සුදුසුම පුද්ගලයා මනෝ ගනේෂන් මහතා බව මා කියා සිටියා. මනෝ ගනේෂන් අමාත්‍යවරයාට භාෂා තුනම හොදින් හැසිරවීමට හැකියාව තිබෙනවා.

සෑම අයෙකුම සමගම, සෑම පක්‍ෂයක් සමගම සාකච්ඡා කරමින් කටයුතු කරන නිසා මෙම අමාත්‍ය ධූරය මනෝ ගනේෂන් මැතිමාට ලබාදීමට මම යෝජනා කළා. එහි ප්‍රතිඵල අද අපිට දැකගැනීමට පුළුවන්. විවිධ ව්‍යාපෘති ගණනාවක් එතුමා ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ වගේම භාෂා අධ්‍යාපන හා පුහුණු කිරීම් ආයතන අද විශාල වැඩකොටසක් සිදුකරමින් සිටිනවා. ඒ සඳහා ඇමැතිතුමා සතු උනන්දුව බලපා තිබෙනවා. එම වැඩකටයුතු සිදුකර ගැනීම වෙනුවෙන් එතුමා මා සමගත් නිතරම සාකච්ඡාවල නිරත වෙනවා.

ජාතික ඒකාබද්ධතාවය පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාත් සමග මනෝ ගනේෂන් මැතිතුමා සහයෝගයෙන් යුතුව කටයුතු කරනවා. අපි සියලූ දෙනාම ශ්‍රී ලාංකිකයින් වශයෙන් සිතා කටයුතු කළ යුතුයි. ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති කිරීමට ඩී.එස්. සේනානායක මැතිතුමා පළමුවෙන් කටයුතු කළ බව සඳහන් කරන්න කැමැතියි. එතුමා සිංහල බෞද්ධ පුද්ගලයෙක් වශයෙන් ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කළ යුතු යැයි ප්‍රකාශ කළා. එතෙක් ඉංග්‍රීසි කිරීටයට පක්‍ෂව කටයුතු කළත්, මින් පසුව ශ්‍රී ලාංකීකත්යට පක්‍ෂපාතී විය යුතු යැයි එතුමා එදා සඳහන් කළා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ අවසන් ධජයට අනෙක් ජාතීන් නියෝජනය කරමින් වර්ණ දෙකක් ඇතුළත් කිරීමට එතුමා උපදෙස් ලබාදුන්නා.

එයට වසර 50- 60 ක ට පෙර පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා 1915 කෝලාහල ඇතිවූ අවස්ථාවේ බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා මුණගැසී සිංහල බෞද්ධ ජාතිකයෙකු වූ පේදිරිස් මැතිතුමාගේ ජීවිතය බේරා දෙන ලෙස ඉල්ලා සිටියා. එදා ඔහු පේදිරිස් මැතිතුමාගේ බරට සමානව රත්රන් ලබාදීමට කැමැති බවත් ඉංග්‍රීසි රජයට දැනුම් දුන්නා. නමුත් එම ඉල්ලීම බ්‍රිතාන්‍ය ආණ්ඩුව පිළිගත්තේ නැහැ.

සංහිඳියාව බිඳ වැටීම !

ඒ ආකාරයට යටත් විජිත යුගයේ සිටම සහයෝගයෙන් යුතුව රටේ සියලූ දෙනාම වැඩකටයුතු සිදු කළා. නිදහස වෙනුවෙන් සියලූම ද්‍රවිඩ මන්ත්‍රීවරුන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී ඡන්දය ලබාදීමට පියවර ගත්තා. 1946 ඉදිරිපත් කළ යෝජනාවට පක්‍ෂව සියලූ දෙනාම ඡන්දය ලබාදුන්නා. ඒ ආකාරයට කටයුතු කරමින් නිදහස් ශ්‍රී ලංකාවක් ඇති කිරීමට ඔවුන් පියවර ගත්තා.

වසර ගණනාවක් යුද්ධ කරමින් අපි දෙකට බෙදුණා. උතුරේ මෙන්ම දකුණේ ද යුද්ධයන් ඇති වුණා. මේ ආකාරයට බෙදී වෙන්වූ සියලූ දෙනාම එක්කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතුයි. ප්‍රසිද්ධියේ කටයුතු නොකළත් රටේ සංහිදියාව ඇති කිරීම වෙනුවෙන් මනෝ ගනේෂන් මැතිතුමා විශාල වැඩ කොටසක් සිදු කරනවා.

මාර්ග ඉදිකිරීම, ගොඩනැගිලි ඉදිකිරීම වැනි භෞතික සංවර්ධනය අපට දැක ගැනීමට හැකි වුවත් මෙම අමාත්‍යංශය හරහා ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති කර රටේ සියලූ දෙනාම එක් කිරීමේ වැඩකටයුතු සිදු වන බව සඳහන් කරන්න කැමැතියි.

පාස්කු ප්‍රහාරය හමුවේ සංහිඳියාව !

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව රට බෙදී ලේ වැගිරීම් සිදු වූයේ නැහැ. ඒ වෙනුවට සියලූ දෙනාම එක්වී අන්තවාදය හෙළා දැකීමට පෙනී සිටියා. එම ප්‍රහාරය සිදු කිරීමට මූලික වූ අයි.එස්.අයි.එස්. ඉස්ලාම් අන්තවාදය හෙළා දැකීමට අප සියලූ දෙනාම කටයුතු කළා. ඒනිසා ලේ වැගිරීම් සිදු කිරීමට කිසිවෙකුත් සූදානම් වුණේ නැහැ. එහිදී එම ගෞරවයෙන් කොටසක් මනෝ ගනේෂන් මැතිතුමාටත් එතුමා ගත් ක්‍රියාමාර්ග වෙනුවෙන් හිමි වනවා.  

වෙසක්, පොසොන්, දීපවාලී, නත්තල්, තෛපොංගල්, සිංහල අලූත් අවුරුදු, රාම සාන් උත්සව සියල්ලම මෙම ශාලාව තුළ පැවැත්වෙනවා. එය අපේ ඒකාබද්ධතාවය පෙන්නුම් කිරීමක් බව සඳහන් කළ යුතුයි.

පසුගිය වසර කිහිපය තුළ දී ඒකාබද්ධතාව තුළින් අප ඉදිරියට පැමිණ තිබෙනවා. ඒකාබද්ධතාව ඇති කර ශ්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කිරීමට වසර 05 ක කාලය ප්‍රමාණවත් වන්නේ නැහැ. ඉදිරි වසර 05 ක කාලය තුළ දී අප විසින් ගනු ලබන තීන්දු, තීරණ අනුව එම වැඩකටයුතුවල සාර්ථකත්වය රැදී තිබෙන බව සඳහන් කරන්න කැමතියි.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම !

ඒකාබද්ධතාව ඇති කර ශ්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කිරීම, අප ලබාදුන් එක් පොරොන්දුවක් පමණයි. ඒ වගේම දේශපාලන විසඳුමක් ලබාදීමට අප පොරොන්දු වුණා. ඒ පිලිබඳව ව්‍යවස්ථා සම්පාදන සභාවේ දී බොහෝ දුරට සාකච්ඡා කර තිබෙනවා. ඒ සාකච්ඡාවන් සමඟ එම වැඩකටයුත්ත ඉදිරියට ගෙන යා හැකියි. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට අප එකඟ වී තිබෙනවා. ඒ වෙනුවෙන් කැපවීමෙන් යුතුව තවදුරටත් කටයුතු කරන බව සඳහන් කරන්න කැමතියි. පක්ෂයක් වශයෙන් විධායක ජනාධිපති ධූරය ඇති කිරීමට අප කටයුතු කළා. මමත් ඒ අවස්ථාවේ එහි සාමාජිකයෙකු වශයෙන් ක්‍රියා කළා. ඒ වගේම පක්‍ෂයක් වශයෙන් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමටත් අපි පියවර ගන්නවා.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් 2015 වසරේ දී පොදු සන්ධානයකට අප එක් වුණා. නමුත් පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතරය හෝ සරල බහුතරය හෝ අපට තිබුණේ නැහැ. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට එකඟතාව පළ කළ පක්ෂ සමඟ එක් වූවත් පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගැනීමට අපට නොහැකි වුණා. එම පොරොන්දුව මතකයේ තබාගෙන විධායක ජනාධිපති ධූරය ඉදිරියේ දී අහෝසි කිරීමට කටයුතු කළ යුතුයි.

2014 – 2015 කාලය තුළ ලබාදුන් පොරොන්දුවලින් බොහොමයක් ඉටු කරදීමට හැකි වී තිබුණත් ඉතිරි පොරොන්දු ඉටු කර දීමට අවශ්‍ය වරම ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

එක්සත් ශ්‍රී ලංකාවක ඉදිරියට යමු !

එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සියලූ දෙනාම එකට එක්වී රට ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන ලෙස ඔබ සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මනෝ ගනේෂන් ඇමැතිතුමත් එම අමාත්‍යංශයත් සිදු කර තිබෙන වැඩකටයුතුවලට මම ප්‍රශංසා කරනවා. මෙහි ප්‍රසිද්ධියේ පෙනී නොසිටියත් ප්‍රියානි ගුණරත්න මැතිනිය සිදු කර තිබෙන වැඩකටයුතු පිළිබඳව විශේෂයෙන් සඳහන් කිරීමට අවශ්‍ය නැහැ. නිහඬව හිදිමින් සංහිදියාව ඇති කිරීමට විශාල වෙහෙසක් එතුමිය දරනවා. ඔබ සියලූ දෙනා සිදු කරන වැඩකටයුතු හරහා රටේ එක්සත් භාවය වැඩිදියුණු වේවායි මම ප්‍රාර්ථනා කරනවා."

මෙම අවස්ථාවට මහා සංඝ රත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයන්, කථානායක කරූ ජයසූරිය, ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයිල්වාගනම් තිලකරාජ්, අරවින්ද කුමාර් යන මහත්වරු ප්‍රමුඛ දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ඒ. එස්. එම්. එස්. මහනාම ඇතුළු , රාජ්‍ය නිලධාරීන්, කැනඩා රජයේ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.