නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා 2012 වසරේ දී ලබාදුන් රුපියල් කෝටි 200 ක අත්තිකාරම් මුදල්වලට ආගිය අතක් නැති බවත් කුලුනේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවට අත්සන් තබන ලද එක් පාර්ශ්වයක් වන ඇලිට් (ඒ.එල්.අයි.ටී.) සමාගම පිළිබඳ කිසිදු තොරතුරක් නැති බවත් ජනාධිපති සිරිසේන ඊයේ (16) ප්‍රකාශ කළේය.
දකුණු ආසියාවේ ඉහළම කුලුන වන ‘නෙළුම් කුලුන’ විවෘතකිරීමේ උත්සවය අමතමින් ජනාධිපති සිරිසේන ඒ බව පැවැසීය.
නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා 2012 වසරේදී ශ්‍රී ලංකා රජය, චීනයේ සී.ඊ.අයි.ඊ.සී සහ ඇලිට් (ඒ.එල්.අයි.ටී) යන සමාගම් අතර ත්‍රෛපාර්ශවීය ගිවිසුමකට අත්සන් තැබූ බව ද ජනාධිපතිවරයා කීවේය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදුලි සංදේශ කොමිසම ගිවිසුමට අත්සන් තැබූ බව ද හෙතෙම කීය.
ඒ අනුව කුලුන ඉදිකිරීම සඳහා අත්තිකාරම් මුදල් වශයෙන් ශ්‍රී ලංකා රජය 2012 වසරේදී ඇලිට් (ඒ.එල්.අයි.ටී.) සමාගමට රුපියල් කෝටි 200ක මුදලක් ගෙවා ඇති බවත් පසුව කරන සොයාබැලීම්වලදී එවැනි සමාගමක් නැති බවට තොරතුරු අනාවරණය වූ බවත් ජනාධිපති සිරිසේන කීවේය
නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුව මුලදී රුපියල් බිලියන 16ක මුදලක් දුන් බව බව කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් සහ සමාගම පිළිබඳ තොරතුරු නොමැති නිසා එක්සිම් බැංකුව ණය මුදල රුපියල් බිලියන 12කට සීමා කළ බව ද පැවැසීය.
ඇලිට් (ඒ.එල්.අයි.ටී.) සමාගමේ ලිපිනය චීනයේ බීජිං නුවර බවට තොරතුරු ලැබුණු බවත් චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ චීන රජයේ සහාය ලබාගනිමින් එවැනි සමාගමක් පිළිබඳ තොරතුරු චීනය තුළ ඉන් බැහැර රටකින් සොයාගැනීමට නොහැකි වූ බවත් ජනාධිපතිවරයා කීවේය.
නෙළුම් කුලුනේ ඉදිරි කටයුතු සඳහා රුපියල් කෝටි 300ක මුදල් අවශ්‍ය බවත් ඒ සඳහා මුදල් යොදවන්නේ මෙරට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ සංවර්ධනයට යෙදවීමට තිබෙන මුදල් බවත් ජනාධිපති සිරිසේන සඳහන් කළේය.
නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා ලබාගත් ණය මුදලේ වාරිකය ලෙස වසරකට රුපියල් කෝටි 240ක මුදලක් ගෙවීමට තිබෙන බවත් පසුගිය වසරේදී කෝටි 240ක් ගෙවූ බවත් ජනාධිපතිවරයා පැවසීය.
මේ වසරේදී ණය වාරිකයට අදාළව රුපියල් කෝටි 120ක් දැනටමත් ගෙවා ඇති බවත් මේ ආකාරයෙන් වසර 10ක් යන තුරු රුපියල් කෝටි 240 බැගින් ගෙවිය යුතු බවත් ජනාධිපති සිරිසේන වැඩිදුරටත් කියා සිටියේය.