Language Switcher

V2025

ගෝඨාට එරෙහි පෙත්සම ඉවතට !

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් පිළි ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඒකමතිකව තීරණය කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ නඩු විභාගය පැවැත්විණ.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟම අධිකරණ ශාලාව තුළ සිටි කිසියම් පිරිසක් අත්පොලසන් නගා ප්‍රීතිඝෝෂා කළහ.

එය තරයේ හෙළා දකින බව සඳහන් කළ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මෙම ක්‍රියාවට කිසියම් නීතිඥවරයෙකු සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වුවහොත් ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙස දැනුම් දෙන බවය.

මෙහිදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අදහස් දක්වමින් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් සමාව අයැද සිටින අතර එය සිදු නොවිය යුතු සිද්ධියක් බවය.

තුන් වෙනි දිනය

සිකුරාදා (ඔක්තෝබර් 04) පෙරවරුවේ පෙත්සම සලකා බැලීම තුන්වන දිනයේත් ආරම්භ කෙරුණු අවස්ථාවේ තවදුරටත් කරුණු දැක්වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, පුරවැසි පනතට අනුව යම් පුද්ගලයෙකුට ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීම පිළිබඳ බලතල පැවරී තිබෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට බව සඳහන් කළේය.

එහෙත් 2015 වසරේ නොවැම්බර් මස 21 වනදා වන විට අමාත්‍ය මණ්ඩලයක් පත්කර නොතිබූ හෙයින් පුරවැසි පනතට අදාළ විෂය භාර අමාත්‍යවරයාගේ බලය ද ජනාධිපතිවරයා වෙත පැවරී තිබුණු බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙන්වා දුන්නේය.

ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමේදී පුරවැසි පනතට අනුව එම විෂය භාර අමාත්‍යංශයේ ලේකම්වරයාට කිසිදු කාර්යභාරයක් නොපැවරෙන බව ජනාධිපති නීතිඥවරයාගේ තර්කය විය.

වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ලියවිල්ල ව්‍යාජ ලේඛනයක් බව පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණ ද එය මුළුමනින්ම අසත්‍ය බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේය.

2005 වසරේ නොවැම්බර් මස 21 වනදා රටේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්ද රාජපක්ෂ බවත් ඒ අනුව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අත්සන් තබා ඇති මෙම ලියවිල්ල සත්‍ය ලියවිල්ලක් බව මේ වන විට අධිකරණය හමුවේ පිළිගෙන ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

එවැනි තහවුරු වූ තොරතුරක් තිබියදී පවා අදාළ ලේඛනය අසත්‍ය ලේඛණයක් බවට පෙත්සම්කරුවන් විසින් ප්‍රකාශ කිරීම බරපතළ කරුණක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, එම කරුණ පදනම් කරගෙනම මෙම පෙත්සම ප්‍රතික්ෂේප කළ යුතු යයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විධායක බලය කාටද?

අදාළ පෙත්සමේ හය වන වගඋත්තරකරු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව විධායක බලය ජනාධිපතිවරයා වෙත පැවරෙන බව සඳහන් කළේය.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ වෙත ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමට එවකට ජනාධිපති වශයෙන් සිටි මහින්ද රාජපක්ෂ ගත් තීරණය ව්‍යවස්ථානුකූල බව ඔහු කියා සිටියේය.

මෙම පෙත්සම පදනම් විරහිත කරුණු මත ගොනු කර ඇති බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන මෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන ද අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නැවත අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ සුරේන් ප්‍රනාන්දු සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ වෙත නිකුත් කර ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය අවිධිමත් සහ නීතිවිරෝධී බවය.

පුරවැසි පනත ප්‍රකාරව යම් පුද්ගලයෙකුට ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමේ බලතල පැවරී තිබෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට බව නීතිඥ සුරේන් ප්‍රනාන්දු කියා සිටියේය.

එහෙත් එම නඩුවට පාදක වන ගෝඨාභය රාජපක්ෂට පුරවැසි සහතික නිකුත් කර තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් බැවින් එය නීතිය ඉදිරියේ වලංගු ලියැවිල්ලක් නොවන බව නීතිඥ සුරේන් ප්‍රනාන්දු වැඩිදුරටත් අවධාරණය කළේය.

 109104135 chamal

පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසිනි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් ඔහු මෙරට දී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබා ගෙන ඇති බවය.

විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට මෙම බලපත්‍ර ඔහු විසින් ලබාගෙන තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ පෙත්සම්කරුවන් එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බව කියා සිටියේය.

මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කරුවන් පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා තිබුණි.

 109104132 2869c7eb 8ac4 4b66 a216 8fe23c818072

තීන්දුව ගැන ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ අනිවාර්යයෙන්ම ජනපතිවරණය ජයග්‍රහණය කරන බවය.

"කිසිම සැක සංකාවක් තියාගන්න එපා, ඔක්තෝබර් 7 වැනිදා ගෝඨාභය රාජපක්ෂ නාම යෝජනා දෙනවා. ඔහුව අපි දිනවනවා."

නඩු තීන්දුවට පෙරාතුව චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද ජනපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබුණි. විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසන්නේ එය "බැකප් සැලසුමක්" බවය.

එහිදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා: "මේක අහන්නවත් වටින පෙත්සමක් නෙවෙයි කියලා විසි කළා. සියළු දේ සිදුවෙලා තියෙන්නේ නීත්‍යානුකූලව. සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියන්න තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කොතරම් බය වුනත් අනිවාර්යෙන්ම නොවැම්බර් 16 මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මුහුණ පාන්න වෙනවා," යනුවෙන් කියා සිටියේය.

චමල් රාජපක්ෂ

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ අපේක්ෂකයා ලෙස හිටපු කතානායකවරයා ඉදිරිපත්වීම ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, වගකිව යුතු දේශපාලන පක්ෂයක් ලෙස යම් හදිසි අවස්ථාවක් උද්ගත වුවහොත් ඊට පූර්ව සූදානමක් ලෙස හිටපු කතානායකවරයා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බවය.

චමල් රාජපක්ෂ සහ කුමාර් වෙල්ගම මන්ත්‍රීවරුන් ද ඇතුළුව අපේක්ෂකයන් 33 දෙනෙක් මේ වනවිට මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර සිටිති.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ මෙය පෙර නොවූ විරූ තත්වයක් බවය.

මෙතරම් අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත්වීම හේතුවෙන් මැතිවරණයේ අපේක්ෂිත වියදම රුපියල් මිලියන 4500 සිට මිලියන 5000 දක්වා ඉහළ යනු ඇති බව ද සභාපතිවරයා බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.