රාජපක්‍ෂ රෙජීමය ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම පාගා දැමුවා - අගමැති

රාජපක්‍ෂ රෙජීමය ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම පාගා දැමුවා - අගමැති

පිටු 80 කින් යුතු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය සඳහන් වී ඇත්තේ එකම එක තැනක පමණක් බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එමඟින් පිළිබිඹු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පිළිබඳව ඔවුන් තුළ කැපවිමක් හෝ විශ්වාසයක් හෝ නෙමැති බව පෙන්වා දුන්නේය.

පසුගියදා මැද කොළඹ මැතිවරණ කොට්ඨාසයේ මාලිගාවත්ත සහ කෙසෙල්වත්ත ප්‍රදේශයන්හි පැවති පොකුරු රැස්වීම් මාලාවක් අමතමින් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

තමන්ට එරෙහිව අදහස් ප්‍රකාශ කළ සියල්ල වෙඩි උණ්ඩයෙන් මර්දනය කළ රාජපක්‍ෂ රෙජීමය මෙරට ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම පාගා දැමූ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, එවන් පීඩාකාරී සහ අඳුරු යුගයකට යළි රට ගෙන යාමට ඉඩ දිය යුතු නැති බවද පෙන්වා දුන්නේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

"2015 බලයට පැමිණි අපේ ආණ්ඩුව ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කර ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළා. ඒ රාමුව ආරක්‍ෂා කරමින් ඉදිරියට ගෙන යෑම අපේ අරමුණයි. නමුත් ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම සම්බන්ධව කුමක්ද කියන්නේ. ඔහු ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු 80 ක් තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය තිබෙන්නේ එකතැනක පමණයි.

අප ඇති කළ ස්වාධීන කොමිෂන් සභා ආරක්‍ෂා කරනවා ද? ඒවා තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට යනවා ද? එසේත් නැතිනම් එයට විකල්පයක් ගෙන එනවා ද? සුදුවෑන් වැනි පැහැරගෙන යෑම් නතර කරනවා ද? මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම නතර කරනවා ද? අධිකරණය ස්වාධීනත්වය ආරක්‍ෂා කරනවා ද? ජනතාව තුළ මතු වන මේ ප්‍රශ්නවලට ගෝඨාභය රාජපක්‍ෂ පිළිතුරු ලබාදිය යුතුයි.

මේ මැතිවරණයේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කර ගැනීමයි. ඒ ගැන කිසිවක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කොට නැති නම් එවැනි අයෙකුට ඔබේ ඡන්දය ලබාදීමෙන් ඵලක් තිබෙනවා ද? මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරන නිසි වැඩපිළිවෙළක් ඇති සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබා දෙනවා ද? ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකර යළිත් රට අඳුරු යුගයකට ගෙන යෑමට සූදානම් වන ගෝඨාභය රාජපක්‍ෂට ඡන්දය දෙනවා ද කියා ඔබ තීරණය කළ යුතුයැයි" අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න