පෙර... ඔබ දාහයෙන් පීඩිතව
කැලඹෙනා කල ...
මම වැහි වලාකුළක් වී
ඔබ මත පතිතව
කැලඹෙනා සිත සිසිල් කළෙමි
පෙර... ඔබ බියෙන් සීතලව
ගැහෙනා විට
උණුදිය උල්පතක් වන්ව
බිය මැඬ, සැතපවූයෙමි
පෙර... ඔබ විකල් මනසකින්
ඔබමොබ සරනා කල
කෝකිල කූජනයක්ව
නිසි මඟ පෙන්වීමි
එහෙත්.. අද ... ඔබ
ආත්මාර්ථයේ මරණීය සැතින්
මගේ කුරුලු හදවත දෙපළු කළ සැණ
මම නිහඬ, නිසසල කැඩපත වුනෙමි
එන්න... එන්න.. මා අභියසට
ඔබ දකින්නේ
ඔබේම ප්‍රතිබිම්භයයි
සොම්නසක, දොම්නසක
සෙනෙහසක හෝ ආත්මානුකම්පාවක
සේයාවකුදු නොපෙන්වන
මා නිහඬ, නිසසල කැඩපතයි
පරාර්ථකාමය... දෙපළු වූ හද තුළ නිදන් කළ
ඔබේ ම සේයාව
දකින්න... දකින්න...
මා නිහඬ, නිසසල කැඩපතයි

මනෝරි ලියනවඩුගේ (Manori Liyanawaduge)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
