Language Switcher

V2025

සජිත්ට සහය දෙන්න : ජවිපෙට ඉල්ලීමක් !

සජිත් සමග එකතුවෙන ලෙස ජනතා විමුක්ති  පෙරමුණට තමන් ආරාධනා කරන බව පාර්ලිමේන්තු  මන්ති‍්‍ර රංජන් රාමනායක ඉල්ලා සිටියි.

මාතර, මොරවක ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් ඔහු  මේ ඉල්ලීම සිදුකර ඇත.

එහිදි වැඩිදුරටත්  අදහස් පළකල ඔහු මෙසේද පැවසීය.

‘‘ අවුරුදු 5 කට සැරයක් ජනතාවට ස්වර්ණමය අවස්ථාවක් ලැබෙනවා මේ  නොවැම්බර් 16 වෙනිදා.  ඒ තමයි මුල් පුරවැසියා පත්කර ගන්නා ඡන්දය. අපි සාමාන්‍යයෙන් ලොකු දුවලා ඉන්න තාත්තලා මනමාලයෙක් තෝරද්දි කේන්දරේ  බලනවා. පැටිකිරිය බලනවා. මනමාලයගේ පෙර වැරදි තියෙද කියලා බලනවා. මනමාලයෙක් ගැන එහෙම හොයලා බලනවනම්  අපි ජනාධිපති කෙනෙක් පත්කර ගන්නකොට ඊට වඩා හොයලා බලන්න ඕන නේද?  ඒකට පැපරල් සංවිධානය තිබ්බා   සජිවි සංවාදයක්.  ඒ විවාදෙට ජනාධිපති අපේක්ෂකයන්ට එන්න කිව්වා.  ඒක බටහිර රටවල කරන දෙයක්.  ඒකට මහේෂ් සේනානායක, අනුර දිසානායක සහ සජිත් පේ‍්‍රමදාස කොන්ද කෙලින් තියාගෙන ආවා. කවුද ආවා  නැත්තේ ගෝඨාභය විතරයි. මෙහෙම මාධ්‍ය වලට බය මෙහෙම විවාද වලට බය අපේක්ෂකයෙක් මම නම්  දැක්කමයි. ජේ. ආර් ජයවර්ධන, ආර් පේ‍්‍රමදාස, ඩිබි විජේතුංග , චන්ද්‍රිකා එහෙම විවාද වලට ආවා.  නමුත් ගෝඨාභය එන්නෙ නැහැ.  මොකද තමුන්ගේ මවුබස බැරිලූ.

ඒ වගේම සජිත් පේ‍්‍රමදාස  මහත්තයගේ අවසරය නැතුව මට මේ  කතාව කියන්න ඕන. ගියපාර අපි ලක්ෂ හැට දෙකහාමාරක් අපේ කතා විශ්වාස කරලා අපිට ඡන්දය දුන්නා. ඒ ඡන්ද අතර ජනතා විමුක්ති පෙරමුණේ ජන්ද ලක්ෂ 6 ක් 7ක් තිබුනා. එහෙනම්  අපි අනුර කුමාර මහත්තයගෙන් ඉල්ලනවා මේ  ඡන්දය තියෙන්නෙ අපේක්ෂකයන් දෙන්නෙක් අතර විතරයි.  ඒ තමයි සජිත් සහ ගෝඨාභය.  එහෙනම්  2010 ෆොන්සේකා සමග එක්ව හිටියනම්  , 2015 මෛති‍්‍ර එක්ක එකට හිටියනම්  ඇයි බැරි මේ පාරත් එකට ඉන්න.

අපි ආරාධනා කරනවා ජනතා විමුක්ති පෙරමුණට එජාපය සමග එකතු වෙලා මේ  මැතිවරණයත් ජයගන්න කටයුතු කරන්න කියලා. සජිත් මහත්තයෝ අනුර මහත්තයට කැබිනට්  ඇමතිකම්  දෙන්න, අනෙක් ඒ පක්ෂයේ අයටත් ඇමතිකම්  දෙන්න. උන් හොරු නෙමෙයි.  රට වෙනුවෙන් අපේ ඇමතිකම්  අපි පරිත්‍යාගකරන්න සුදානම් . අපි ඉල්ලන්නේ අර ආලවකයගෙන් රට බේරා  දෙන්න කියලයි ’’