Language Switcher

V2025

වේලාසන පාර්ලිමේන්තුව විසුරවන්න : ශ්‍රීලනිපය විරුද්ධයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක  මන්ත්‍රීවරයාගේ අනුරාධපුර නිවසේ ඊයේ  (18) පස්වරුවේ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පවත්වා ඇති අතර එහිදී  තීරණය කර ඇත්තේ නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට විරෝධය පලකළ යුතු බවයි.

හදිසි මහ මැතිවරණයක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබා ගැනීමට දරන උත්සාහයේ පාර්ශවකරුවකු නොවීමට යෝජනා කර ඇති ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම, ඒ සම්බන්ධයෙන් අද රාත්‍රී එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීන්දුවක් ගැනීමට නියමිතය. නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා නොහරිනබවට ශ්‍රීලනිපය සමග අත්සන් කර තිබු අවබෝධතා ගිවිසුම මගින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පොරොන්දුවී තිබී ඇත.

හදිසි මැතිවරණය පවත්වන්නැයි ජනපතිට බලපෑම් !

මේ අතර ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූයේ ලබන වසරේ මාර්තු මාසය එළඹෙන තුරු බලා නොසිට මහ මැතිවරණයක් පවත්වන ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

ඇඹිලිපිටිය බෝධිරාජ විහාස්ථානයේ ඊයේ  (18)  පැවති  මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්  ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේ පැවසුහ.

“නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති  නිර්බාධකව ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය අත්‍යවශ්‍යයි. වත්මන් රජයේ ඇමතිවරුන් පිරිසක් සියධූරවලින් ඉල්ලා අස්වීම අපි ඉතා අගය කර සලකනවා.

ඒත් එක්කම වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ඒ පූර්වාදර්ශය ගතයුතු බවයි අපේ හැඟීම. ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී නව ජනාධිපතිවරයාට සිය කටයුතු කරගෙන යාමට විශ්වාසවන්න අග්‍රාමාත්‍යවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි.

මහින්ද දුන් ආදර්ශය:

අපි දැක්කා 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා  ජනපති වූ අවස්ථාවේ එයාට කැමති අගමැතිවරයෙක් කැබිනට් එකක් පත්කරගන්න අවස්ථාව දී හිටපු ජනාධිපති  මහින්ද රාජපක්‍ෂ මහතා දුන් ආදර්ශය මේ අවස්ථාවේ ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නොවුණොත් දේශපාලන අර්බුදයක්, අවුලක් අපිට නැවතත් දකින්නට ලැබෙයි.
 
පසුගිය වසර හතර තුළ අගමැති ජනපති එක්ව කටයුතු නොකළ නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි බරපතළ  ප්‍රහාරයක් සිදු වුණේ.

දැන් ඉතින් ලබන මාර්තු වෙනකම් තවත් බලා නොසිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සියලු දෙනාගේ එකඟත්වය ඇතිව පාර්ලිමේන්තුව විසිරුවා හැර නව ව්‍යාවස්ථාදායක සභාවක් ඇති කළ යුතුයි.

ඒ නිසා ආත්මාර්ථකාමී නොවී පෞද්ගලික අභිමතාර්ථයන් ඉදිරියට නොදමා ලැබුණු පැහැදිලි ජනවරමට ගරු කොට ක්‍රියා කිරීම සියලුම මහජන නියෝජිතයන්ගේ වගකීමයි. '

' "නව රජයක් පිහිටුවනවා" -ජනපති කියයි

ශ්‍රී ලංකාවේ හත් වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස ඊයේ ( 18) උදෑසන අනුරාධපුර රුවන්වැලි මහසෑය ඉදිරිපිටදී දිවුරුම් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසුයේ, තමන්ගේ ප්‍රතිපත්ති අනුව ක්‍රියා කළ හැකි නව රජයක් පිහිටුවන බවයි.

ඒ අතර නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පැවසුයේ, කඩා වැටුණු රට ගොඩ නැගීම සඳහා හැකි ඉක්මණින් වැඩ ආරම්භ කළ යුතුව ඇති බවයි.