Language Switcher

V2025

ජනාධිපතිවරණය: හර්ෂගේ සමීක්ෂණ වාර්තා ප්‍රෝඩාවක් ද?

ගෝඨාභය රාජපක්ෂ තමාට වඩා ඉදිරියෙන් සිටින බවට ජනාධිපතිවරණ සටන ආරම්භයේ සිටම ආචාර්ය හර්ෂ ද සිල්වා ඔහුගේ ජනමත සමීක්ෂණ වාර්තා මගින් අනතුරු අඟවා සිටිබව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. එසේම අවසාන වාර්තාව ඉදිරිපත් කරමින් ගෝඨාභය රාජපක්ෂ වැඩි ඡන්ද ගණනකින් ජයග්‍රහණය කරන බවද ඔහු අනාවරණය කළ බව විපක්ෂනයකවරයා කියා සිටියි.

පසුගිය බ්‍රහස්පතින්දා (05) 'සිරිකොත' එජාප මුලස්ථානයේ පැවති එජාප මන්ත්‍රී කණ්ඩායම අමතමින් ඔහු ඒ බව කියා සිටියේ, හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා බොරු සමීක්ෂණ ඉදිරිපත් කරමින් සජිත් ප්‍රේමදාස පමණක් නොව පක්ෂය ද මුලා කර ඇති බවට එජාපයේ ඇතැමුන් ගෙන යන ප්‍රචාර සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මැතිවරණ සටන සිදුවූ සති කිහිපයේ වරින්වර සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින්, ගෝඨාභය රාජපක්ෂ බොහෝ ඉදිරියෙන් සිටින බව ආචාර්ය හර්ෂ ද සිල්වා පැහැදිලිව පෙන්වා දුන් බව එහිදී පවසා ඇති විපක්ෂ නායකවරයා, මැතිවරණ 'කැම්පේන්' එක හරහා ඉදිරියට ඒමට බලාපොරොත්තු වුවද එය සාර්ථක නොවුබව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

හර්ෂගේ ප්‍රතිචාරය :

මෙහිදී අදහස් දක්වා ඇති හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා, සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරන බවට තමා සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින් පක්ෂය මුලා කලබවට ඇතැමුන් කටකතා පතුරවමින් සිටියද ජනාධිපතිපතිවරණයේ අවසන් ප්‍රතිපලය මෙයවිය හැකියයි මැතිවරණය ආසන්නයේ දී පවා තමා රනිල් වික්‍රමසිංහට හා සජිත් ප්‍රේමදාසට අනාවරණය කර සිටි බවත් අවසානයේ ලැබී ඇත්තේ එම ප්‍රතිපලයම බවත් පවසා ඇත.

''රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් සජිත් ප්‍රේමදාස මහත්තයටත් ජනමත සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින් එළඹිය හැකි අනතුර මම වරින්වර පෙන්වා දුන්නා. ඒ හරහා අපි උත්සහ කලේ 'ෆයින් ටියුන්' කරලා මැතිවරණ කැම්පේන් එක හරහා ගොඩදාගන්න. නමුත් එක සාර්ථක වුනේ නැහැ.

මැතිවරණයකදී ජනමත සමීක්ෂණ පිළිගත නොහැකිබවට ඇතැමුන් කරන ප්‍රකාශ පිළිගන්න බැහැ. සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් සඳහා ඉදිරියටත් තාක්ෂණික දත්ත හා ජනමත සමීක්ෂ යොදාගත යුතුයි.'' මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

රනිල් සටනින් ඉවත්වීමට බලපෑ වාර්තාව !

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මාස කිහිපයකටත් පෙරසිට ම එවකට අගමැති රනිල් වික්‍රමසිංහ වෙත
වරින්වර ජනමත සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින් සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා, 'පොහොට්ටු' පක්ෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන්නේ නම් ඔහුට එරෙහිව සටනක් දීමට පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බවට අවධාරණය කර තිබිණ.

පක්ෂය තුල සිටින වඩාත් ජනප්‍රිය නායකයා සජිත් ප්‍රේමදාස බවත් වෙනත් අයකු ඉදිරිපත් වුවහොත් ඉතිහාසගත පරාජයක් ලැබෙනු ඇති බවත් හර්ෂ ද සිල්වා සිය සමීක්ෂණ වාර්තාවලින් රනිල් වික්‍රමසිංහ වෙත පැහැදිලිව පෙන්වා දී ඇත.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීන්දුකර සිටි රනිල් වික්‍රමසිංහ, සිය තීරණය හකුලා ගෙන තිබුනේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ මෙන්ම, වෙනත් දෙස් විදෙස් සමීක්ෂණ වාර්තාද සැලකිල්ලට ගනිමිනි.

theleader.lk