පාඨලී බලන්න යාම ගැන කරූ කියන කතාව !

පාඨලී බලන්න යාම ගැන කරූ කියන කතාව !

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම මෙන්ම ඔහු බලීම සඳහා බන්ධනාගාරයට කථානායකවරයා යෑම පිළිබඳව කථානායක මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

විවේචන හෝ අභියෝග හමුවේ වුවද එම වගකීම් ඉටු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තවදුරටත් කැපවීමට කථානායකවරයා කිසිවිටකත්  පසුබට නොවනු ඇත යනුවෙන්  අවධාරණය කර ඇති එම නිවේදනය පහත දැක්වෙයි.

“ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු  අත්අඩංගුවට ගැනීමේදී  මෙතෙක් ක්‍රියාත්මක වු සම්ප්‍රදායට පටහැනිව අත්අඩංගුවට ගැනීම පිළිබඳව  කථානායක විසින් සිය මතය ප්‍රකාශ කිරිමත් , එම මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීමට බන්ධනාගාරය වෙත යාමත්, පිළිබඳව ඇතැම් පාර්ශවයන් විසින් පළ කර ඇති අදහස් අපගේ අවධානයට ලක්ව ඇත.

මෙම සිද්ධියේදී  කථානායක විසින් අවධාරණය කරන ලද්දේ නීතිය ක්‍රියාත්මක කිරිමේදී කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සාධාරණ හේතුවක් මත අත්අඩංගුවට ගැනීම පිළිබද කිසිදු විවාදයක් නොමැතිමුත් එහිදී නිසි ක්‍රිමවේදය අනුගමනය කළ යුතු බවයි.

මින් පෙර නිසියාකාරව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  වුවද වරප්‍රසාද පිළිබඳව සැලකිලිමත් විමේදී කථානායකවරයා එම අයවලුන්ගේ දේශපාලන පක්ෂය පිළිබඳව සැලකිල්ලට නොගත් බව අදාළ මන්ත්‍රීවරුන්ගේ හෘදසාක්ෂියට රහසක් නොවනු ඇත.

නමුත් පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලද්දේ සහ බන්ධනාගාරය වෙත ගොස් ඔහුගේ සුවදුක් විමසීමට කටයුතු කරනු ලැබුවේ පවතින සම්ප්‍රදාය උල්ලංඝනය කරමින්  අත්අඩංගුවට ගැනීමේදී මන්ත්‍රීවරයෙක් ලෙස ඔහුට බලවත් අසාධාරණයක් සිදු වු බැවිනි. ( මින් පෙර අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරුන්ද උදාහරණ ලෙස දැක්විය හැකි අතර  දැනටද අත්අඩංගුවේ  පසුවන  එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකුද  මේ වනවිට  දින 50කට අධික කාලයක් බන්ධනාගාරයේ  පසුවන නමුත් ඔවුන්ගේ සුවදුක් විමසීමට කථානායකවරයා කිසිවිටකත් බන්ධනාගාරය වෙත ගොස් නොමැත.)

සම්ප්‍රදායට පටහැනිව අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයෙකු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීමෙන්  කථානායකවරයා සුරැකීමට උත්සාහ දරණුයේ එක් පක්ෂයක හෝ එක් පුද්ගලයෙකුගේ වරප්‍රසාද නොවන බව අවධාරණය කරමු.

වර්තමානයේ මෙන්ම  අනාගතයේද  සියලුම පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදෙසා  ප්‍රජාතාන්ත්‍රික පාර්ලිමේන්තු ක්‍රමයක වැදගත් සම්ප්‍රදායන් තුළින් හිමිවන වරප්‍රසාද සුරැකීමේ සිය වගකීම ඉටුකිරිම එමඟින් සිදුවනු ඇත.  විවේචන හෝ අභියෝග හමුවේ වුවද එම වගකීම් ඉටු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තවදුරටත් කැපවීමට කථානායකවරයා කිසිවිටකත්  පසුබට නොවනු ඇත.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න