Language Switcher

V2025

විගණකාධිපති බංකොලොත් දේශපාලනයකට මුක්කු ගහලා !

රජයේ විගණකාධිපතිවරයා පසුගියදා පවත්වන ලද මාධ්‍ය හමුව රටේ රාජ්‍ය සේවය හා දේශපාලනය කොතරම් පහතට වැටී ඇත්ද යන්නට කදිම නිදසුනක් බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ කැඳවුම්කරු කුලශ්‍රී කාරියවසම් සඳහන් කර සිටියි.

ආචාර ධර්ම කෙළෙසලා

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රෝගීන් පිළිබඳ තොරතුරු ප‍්‍රසිද්ධ නොකිරීම වෛද්‍යවරුන්ගේ ආචාර ධර්මයක් වන්නා සේම වෘත්තීමය විගණකවරුන් තම සේවාදායකයාගේ තොරතුරු ප‍්‍රසිද්ධ නොකරන බවය. ඒ අර්ථයෙන් රජයේ විගණකාධිපතිවරයාගේ සේවාදායකයා ආණ්ඩුව බවත් ආණ්ඩුවේ ගිණුම් කටයුතු ගැන ප‍්‍රශ්න ඇතිනම් ඒ පිළිබඳ කරුණු දක්වන්නට සුදුසු තැන් විගණකාධිපතිවරයාට තිබෙන බවත් ඒ අනුව විගණකාධිපතිවරයාගේ මෙම ක්‍රියාව දේශපාලකයින්ගේ අවශ්‍යතාව මත දේශපාලන අරමුණක් වෙනුවෙන්, සිදු කරන ලද්දක් බව ඉතා හොඳින් පැහැදිළි වන බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.

වැරදි දෙකක් කරලා

එසේම විගණකාධිපතිවරයා වගකිව යුත්තේ පාර්ලිමේන්තුවට පමණක් බවත් එසේම රාජ්‍ය සේවකයකු ලෙස කටයුතු කරමින් රජය හෝ ආණ්ඩුව විවේචනය කළ නොහැකි බව අවධාරණය කරන එම නිවේදනය පසුගියදා විගණකාධිපතිවරයා එම වරදද සිදුකළ බවද සඳහන් කර ඇත.

එසේම මේ රට ඩොලර් ටි‍්‍රලියන 10ක් ණය ගෙන ඇති බවත් ඒවායින් ගිණුම්ගත වී ඇත්තේ එක් ටි‍්‍රලියනයක් පමණක් බවත් පසුගිය දිනක ජනාධිපතිවරයාද ”අති විශේෂ හෙළිදරව්වක්” කළ බව සිහිකරන එම නිවේදනය වැඩිදුරටත් ඒ පිළිබඳ මෙසේ අදහස් දක්වා ඇත.

විගණකාධිපති බබාද ?

රටේ ණය සහ රාජ්‍ය ණය යනු එකක් නොව දෙකකි. රාජ්‍ය ණය යනු රටේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා ආණ්ඩුව විසින් ගනු ලබන ණය වන අතර ඒවා බැර වන්නේ ආණ්ඩුවේ ඒකාබද්ධ අරමුදලටය. එකී ණය ගෙවිය යුත්තේද ඒකාබද්ධ අරමුදලිනි. රාජ්‍ය ආයත විසින්ද විවිධ අවශ්‍යතා සඳහා ණය ගැනීම සිදු කරයි. එම ණය ඒකාබද්ධ අරමුදලට බැර නොවන අතර ගෙවීමේ වගකීම ඇත්තේද අදාල ආයතනයටය.රමේ ණය යනු මෙම රාජ්‍ය ණය හා රාජ්‍ය ආයතන විසින් ගනු ලබන ණය යන දෙවර්ගයේම එකතුවය. වරලත් ගණකාධිවරයෙකු වන රජයේ විගණකාධිපතිවරයා මේ බව නොදන්නා බබෙකු විය නොහැක.

මැතිවරණයට බලපෑමක් !

රාජ්‍ය මූල්‍ය කළමණානරනයේ ප‍්‍රශ්නයක් ඇත්නම් විගණකාධිපතිවරයා එය වාර්තා කළ යුත්තේ පාර්ලිමේන්තුටය. සෘජුව ජනතාවට ඒ ගැන කියා සිටීමට ඔහුට අයිතියක් නැත. එසේ තිබියදී ප‍්‍රවෘත්ති සාකච්ඡා පවත්වා මාධ්‍ය සංදර්ශන පැවැත් වීමෙන් ඔහු අපේක්ෂා කරන්නේ කුමක්ද? ජනතාවට මේ ගැන කළ හැක්කේ කුමක්ද? අදාල වැරුද්දට වගකිව යුතු දේශපාලකයාට හෝ පක්ෂයට ඡන්දය නොදී සිටීමය. ඡන්ද විමසීමක් ආසන්නයේ ඊයේ ඔහු තම ප‍්‍රකාශයෙන් සිදු කළේ එවැනි ඇගවීමකි.

එසේම අදාළ මාධ්‍ය හමුව පැවැත්වීම හරහා විගණකාධිපතිවරයා සිදුකර ඇත්තේ බංකොළොත් දේශපාලනයක් කෙලින් කිරීම සඳහා මුක්කු ගැසීමක් බවත් එවැනි ප‍්‍රකාශ කිරීම රජයේ විගණකාධිපතිවරයාට නොගැලපෙන ඉතාම පහත් දීන ක‍්‍රියාවක් මෙන්ම මින් පෙර කිසි දවසක රජයේ විගණකාධිපතිවරයෙකු නොවැටුණු තරම් පහත් තත්වයකට, දේශපාලන අත කොලූවක් බවට පත්වීමක් බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

ස්වාධීන රාජ්‍ය සේවය මේකද ?

එසේම මේ අන්දමට රජයේ විගණකාධිපතිවරයා පවා තම දේශපාලන වාසි සඳහා භාවිත කිරීම තරම් ජනාධිපතිවරයා පිරිහී ඇත්නම් අනෙකුත් රාජ්‍ය සේවකයන් කුමන අන්දමට තම වාසි සඳහා යෙදවා ගනු ඇත්ද? ශක්තිමත්, ස්වාධීන රාජ්‍ය සේවයක් සහතික කරන්නේ මෙසේද? මේ රටේ යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටි සිවිල් සංවිධාන, ඊනියා බුද්ධිමතුන්, දේශපාලන සංවිධාන මේ ගැන කියන්නේ කුමක්ද? යනුවෙන්ද එම නිවේදනය හරහා ප්‍රශ්න කර ඇත.

මැතිවරණ කොමසාරිස් මේ ගැන මොකද කියන්නෙ ?

තවද "නිදහස්, සාධාරණ, අපක්ෂපාතී, මැතිවරණ පැවැත්වීමට උපන්නෙමි” යනුවෙන් වහසිබස් දොඩවන මැතිවරණ කොමිසමේ සභාපති වරයා මේ ගැන කියන්නේ කුමක්ද? නිදහස් මැතිවරණයක් පැවත්වන්නට යැයි ඕනෑම පිළිකන්නක වුවද රිංගන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අඩුම වශෙයෙන් විගණකාධිපතිවරයාගේ ප‍්‍රකාශය නොකළ යුත්තක් බවට හෝ ප‍්‍රකාශයන් කරන්නට සූදානම්ද? යනුවෙන් සිය නිවේදනය හරහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාවද එම නිවේදනය හරහා ප්‍රශ්න කර තිබේ.