සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රජයට පාඩුවක් කළේයැයි ගොනුකර තිබූ චෝදනාවට වරදකරු කෙරුණු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධනට අද ( 7) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 03 ක සිර දඬුවම් නියම කරනු ලැබීය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් එම දඬුවම නියම කරනු ලැබූ අතර සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද නියම කෙරිණි.නමුත් අදාළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමත් සමඟ අද පස්වරුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ඇප මත නිදහස් කෙරිණි.
2005 වසරේ මැයි මස 05 වනදා සිට 2007 වසරේ අප්‍රේල් මස 30 වනදා දක්වා කාලසීමාව තුළ සරණ ගුණවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රුපියල් 960,000 ක් වැයකරමින් වාහන තුනක් බදු ක්‍රමය යටතේ ලබා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට අල්ලස් කොමිසම චෝදනා ගොනුකොට ඇත.
දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළාය.
ඒ අනුව, ඔහුට වසර තුනක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ 3ක දඩ මුදලක් නියම කරන බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.2010 වසරේ සිට 2015 දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සරණ ගුණවර්ධනට 2015 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට නාමයෝජනා ලබාදීම එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඔහුට එල්ලවී තිබු චෝදනා කිහිපයක් එයට හේතු විය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහය පළකරමින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ සරණ ගුණවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා දේශපාලන ක්‍රියාකාරකම් වල නිරත විය.

