කලාකරු, ජයලත් මනෝරත්නයන් අභාවප්‍රාප්ත වෙයි

කලාකරු, ජයලත් මනෝරත්නයන් අභාවප්‍රාප්ත වෙයි

සම්මානනීය කලාකරු ජයලත් මනෝරත්න මහතා අද අලුයම අභාවප්‍රාප්ත විය.

 කෙටි කලක් රෝගාතුරව පසු වූ මනෝරත්න මහතා සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසූහ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 71 කි.

ඔහුදේ දේහය අද පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා බොරැලස්ගමුව, රත්නාරාම පාරේ අභයරත්න මාවතේ පිහිටි නො. 18 නිවසේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළහ.

වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය ඇතුළු සෑම අංශයකින්ම එක ලෙස ප්‍රතිභාව දැක්වූ ඔහු 1948 වසරේදී නුවරඑළිය, දෙහිපේ නම් ගම්මානයේ උපත ලැබුවේ ය.

පාසල් වියේදීම වේදිකාවට අත්පොත් තැබූ ජයලත් මනෝරත්න මහතා සරසවි ජීවිතයේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ හමුවීමත් සමග එහි කූටප්‍රාප්තියට ළඟා විය.

පේරාදෙණිය සරසවියේ දෙවන වසරේදී ප්‍රේමතී ජායතී සෝකෝ නාට්‍යයට සම්බන්ධ වූ මනෝරත්නයන් වෙස්සන්තර, කදාවළලු, එලොව ගිහින් මෙලොව ආවා සරච්චන්ද්‍ර නාට්‍ය රැසකටම සිය රංගන දායකත්වය ලබා දුන්නේ ය.

ජයලත් මනෝරත්නයන් තම වේදිකා නාට්‍ය නිර්මාණාවලිය ආරම්භ කරන්නේ මහගිරිබද වේදිකා නාට්‍යයෙනි.

වාර්තා රංග තීරිය උපයෝගී කර ගනිමින් එතැන් සිට මනෝරත්නයන් වේදිකා නාට්‍ය රැසක් නිර්මාණය කරන අතර එම සියලු නාට්‍යය මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ සන්ධිස්ථාන මංසලකුණු සනිටුහන් කිරීමට සමත් විණි.

අන්දරේලා, ගුරුතරුව, තල මල පිපිලා, පුත්‍ර සමාගම, සොක්‍රටීස් යන නාට්‍ය නිර්මාණ ජයලත් මනෝරත්නයන් විසින් මෙරට ප්‍රේක්ෂකයින්ට දායාද කළ විශිෂ්ට කෘති ලෙස අදටත් සම්භාවනාවට පාත්‍ර විය.

ටයිටස් තොටවත්තයන්ගේ හදයා චිත්‍රපටයෙන් සිනමා දිවියට පිවිසි මනෝරත්නයන් එතැන් සිට සිය රංගන ප්‍රතිභාවෙන් හැඩ කළ චිත්‍රපට සංඛ්‍යාව 30 කට අධිකයි.

පුංචි තිරයේ ද ටෙලි නාට්‍ය රැසක් ඔහුගේ රංගන කෞශල්‍යයෙන් ඔපවත් විය.

හොඳම වේදිකා නළුවා, ටෙලි නාට්‍ය නළුවා මෙන්ම හොඳම චිත්‍රපට නළුවා යන අංශ තුනෙන්ම සම්මානයට පාත්‍ර වූ මනෝරත්නයන් ස්වකීය වේදිකා නිර්මාණ රැසකටම රාජ්‍ය සම්මාන දිනා ගත්තේ ය.

1979 දී යුග දිවියට පිවිසි මනෝරත්නයන්ට බානුක නම් පුතෙකු සහ ඉන්දීවරී නම් දියණියක ද වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න