Language Switcher

V2025

ලංකාවේ පළමු කොරෝනා රෝගියා හමුවෙයි : රෝග පාලනයට වෛද්‍ය නිර්දේශ මෙන්න !

ලංකාවේ පළමු කොරෝනා වෛරස් ආසාධිතයා හදුනාගෙන තිබේ.අංගොඩ උණ රෝහලට (IDH)ඇතුලත්ව සිදුකල වෛද්‍ය පරීක්ෂණයකදී චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට පැමිණි කාන්තාවකට මෙම වෛරසය වැළදී ඇති බව තහවුරු වී තිබේ.

මේ අතර  කොරෝනා වෛරසය පිළිබඳ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාගේ කරුණු දැක්වීමක් සිදුකර ඇති අතර එය පහත දැක්වෙයි.හඳුනා නොගත් වෛරසයක් මගින් වැළ‌ඳෙන  නියුමෝනියා රෝගයක්  පිළිබඳව චීනයේ  හුබේයි  ප්‍රාන්තයේ වුහාන් නගරයෙන්  මුල් වරට  2019 දෙසැම්බර්   මස 31 දින  ලෝක සෞඛ්‍ය  සංවිධානයට වාර්තා විය.

ඉන් සතියකට පසු එනම් 2020 ජනවාරි මස 07 දින මෙය කොරෝනා වෛරස කාණ්ඩයට අයත් නව වෛරස ප්‍රභේදයක් ලෙස තහවුරු කළ අතර එය “2019-nCoV” නව කොරෝනා වෛරසය ලෙස  නම් කරන ලදී.

කොරෝනා වෛරස යනු වෛරස වර්ග ගණනාවක් අයත් කාණ්ඩයක් වන අතර එය සතුන් සහ මිනිසුන් අතර පැතිරීමේ හැකියාවක් පවතී.  ඒ මගින් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ  සිට මැද පෙරදිග ස්වසන සහලක්ෂණ  (Middle East Respiratory Syndrome) සහ සාර්ස් වැනි උග්‍ර රෝගී තත්වයන් ඇති කළ හැකිය.

නව කොරෝනා වෛරසය නිසා රෝගී වුවන් ප්‍රමාණයේ වැඩි වීමක් චීනයේ හුබේයි ප්‍රාන්තයෙන් ද චීනයේ වෙනත් ප්‍රාන්ත සහ නගර ගණනාවකින් ද තවත් රටවල් කිහිපයකින් ද වාර්තා වී ඇත.

2020 ජනවාරි 25 දින වන විට නව කොරෝනා වෛරසය නිසා රෝගී වුවන් 1,370 ක් වාර්තා වී තිබු අතර ඉන් 1,297 දෙනෙකු චීනයෙන් (තායිපේ, මැකාවු සහ හොංකොං ප්‍රදේශ ඇතුළුව) වාර්තා වී ඇත. අනෙකුත් රටවලින් වාර්තා වු 23 දෙනෙකු අතරින් 21 දෙනෙකුම ම වුහාන් නගරයේ සිට පැමිණි අය වේ. මෙම රෝගීන් අතර මරණ 41 ක් වාර්තා වී ඇති අතර ඒ සියල්ලම චීනයෙනි.

මේ අතර වුහාන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු 2020 ජනවාරි මස 24 දින ද එම නගරයෙන් ම පැමිණි චීන ජාතික සංචාරකයින් දෙදෙනෙකු ජනවාරි මස 25 දින ද ස්වසන රෝග ලක්ෂණ  සහිතව අංගොඩ ජාතික බෝවන රෝග ආයතනයට (Institute of Infectious Diseases) ඇතුළු කර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

මේ තිදෙනාම කාන්තාවන් වන අතර ඔවුන් රෝහලට ඇතුළු කරන විටත් සුළු රෝග තත්වයෙන් පසු වුවන් වන අතර ඔවුන් ගේ වර්තමාන සෞඛ්‍ය තත්වය අවදානමින් තොර බව තහවුරු කළ හැකිය.

මේ තිදෙනා ට නව කොරෝනා වෛරසය ආසාදනය පවතී දැයි අවශ්‍ය පරීක්ෂණ මේවන විට සිදු කරමින් පවතින අතර ඉදිරි දින දෙක තුළ අවසන් පරීක්ෂණ ප්‍රතිඵල දැන ගත හැකි වනු ඇත.නව කොරෝනා වෛරසය එක් පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට පැතිරීමේ හැකියාව ඇත.

චීනයෙන් වෙනත් රටවලට පැතිරුණු ආකාරයට ම මෙම රෝගය ලංකාවටද පැතිරීමේ අවදානමක් ඇති බැවින් ශ්‍රී ලංකාවට ඇතුළු වන තොටුපල වල ඒ සඳහා අවශ්‍ය පෙර සුදානම ක්‍රියාත්මක කර ඇත.

ඒ අතර,ලංකාවට පැමිණෙන ගුවන් මගීන් මෙම රෝගය පිළිබඳව ගුවනේ දීම දැනුවත් කරන අතර යමකුට මෙම රෝග ලක්ෂණ එනම්, අධික උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ හුස්ම ගැනීමේ අපහසුතාව තිබේ නම්, ගුවන් තොටුපලේ සෞඛ්‍ය අංශයට වාර්තා කරන ලෙසට උපදෙස් ලබා දෙනු ලැබේ.

⋆ගුවන් තොටුපලේ සෞඛ්‍ය අංශය දවසේ පැය 24 පුරා ම ක්‍රියාත්මක වේ.

⋆ලංකාවට පැමිණෙන මගීන් අතර උණ සහිත රෝගීන් සිටී දැයි නිරීක්ෂණය කිරීම සඳහා ස්කෑනර් යන්ත්‍ර (thermal scanners) ස්ථාපනය කර ඇත.

⋆ස්වසන රෝග ලක්ෂණ සහිත මගියෙකු ගුවන් තොටුපල සෞඛ්‍ය අංශයට වාර්තා වුවහොත් ඔවුන්ට නව කොරෝනා වෛරස රෝගය තිබේ දැයි සැක කළ හැකි ද යන්න පරීක්ෂා කරනු ඇත.

⋆එවැනි අවදානමක් තිබේ නම් ඔවුන් රෝහල් ගත කර අවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා දීම සිදු කරනු ඇත.සියලු ජනතාව ස්වසන ආසාදන පාලනය සහ වළක්වා ගැනීම සඳහා ගත යුතු සාමාන්‍ය ක්‍රියා මාර්ග අනුගමනය කිරීම සුදුසුය. ඒවා නම්,

⋆ජනාකීර්ණ තැන් වල ගැවසීමෙන් වළකින්න.

⋆අත් නිතර  සබන් යොදා සේදීම හෝ ඇල්කොහොල් සහිත පිරිසිදු කාරක (alcohol based hand rubs) යොදා පිරිසිදු කරන්න.

⋆කහින විට හෝ කිවිසුම් යන විට අතේ වැළමිට ප්‍රදේශය පාවිච්චි කරන්න. මුඛය සහ නාසය ආවරණය කර ගන්න. නැතිනම් ටිෂු පාවිච්චි කර ඒවා ආරක්ෂිතව අපහරණය කර ගන්න.

⋆උණ සහ කැස්ස සහිත අය සමීප ආශ්‍රය කිරීමෙන් වළකින්න.

⋆ඔබ නව කොරෝනා වෛරස් රෝගය සහිත පළාතක සිට පැමිණ පසුව උණ සහ කැස්ස වැළඳේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න.

ඔබගේ ගමන් විස්තර වෛද්‍යවරයා සමග පවසන්න.

විරාජ් අබේසිංහ(මාධ්‍ය ලේකම්)

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා,

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය