ඉදිරි මහ මැතිවරණයට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා එකතු කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයකගේ කැමැත්තක් නැතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.
මෛත්‍රී රනිල් හවුල මේ රට විනාශ කළ බව පෙන්වා දෙන ප්‍රසන්න රණතුංග ඇමතිවරයා රට විනාශ කළ පුද්ගලයින් සමග එක් ව ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් නැවත සිතා බලන්නැ‘යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නායකයන්ගේ ඉල්ලා සිටින බව ද කීවේය. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සමනායකයෙකු ලෙස පිළිගැනීමට පොදුජන පෙරමුණ සුදානම් නොමැති බවත් තම පක්ෂයේ අසමසම නායකයා මහින්ද රාජපක්ෂ පමණක් බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.
පොහොට්ටු පාක්ෂිකයන් දැනුවත් කිරීම සදහා අද (03) උඩුගම්පල ඔහුගේ කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සදහන් කළ අතර එහිදි වැඩිදුරටත් මෙසේද පැවසීය.
” මම දැක්කා මොකක්ද මේ පොදු පෙරමුණ ද මොකක්ද කියලා පක්ෂයක විධායක සභාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙලා සන්ධානයක් හදාගෙන තියෙනවා. ඒ සන්ධානයේ 51%ක් අපේ පක්ෂයටත් දෙන බවත් සෙසු පක්ෂ අතරේ ඉතිරි කොටස බෙදෙන බවත් කියලා තිබුණා. මොන මොන සන්ධාන කවුරු කොහොම ගැහුවත් අපි ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුවෙන් පමණයි. පොහොට්ටුව හැර අපට වෙන විකල්ප නෑ.
අනික කියලා තිබුණා ඒ සන්ධානයේ සම නායකයා මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් බව. අපිට සමනායකයන් නෑ. සමනායකයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පිළිගන්න අපේ පක්ෂය සුදානම් නෑ. අපේ අසමසම නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණයි.හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආප්ප කාලා පැනලා ගිහින් අපේ නායක මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා.
2015 ජනාධිපතිවරණයෙන් දිනලා රනිල් එක්ක ජාතික ආණ්ඩුව කියලා අටමගලක් අටවාගෙන මේ රට විනාශ කළා. අපි එක්ක ශ්‍රිලනිපයේ හිටපු අයත් ඒකට ගිහින් තනතුරු වරප්‍රසාද ගත්තා. පසුගිය වසර 05 යහපාලන ආණ්ඩුව මේ රට කෑවා. ඒකට මෛත්‍රී – රනිල් හවුල් යහපාලන ආණ්ඩුවේ හිටපු හැමෝම වග කියන්න ඕනෑ. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ඒ වගකීමෙන් මිදෙන්න බෑ.
මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව තමයි මහ බැංකු හොරකම කළේ. පාස්කු ප්‍රහාරයටත් සම්පුර්ණයෙන්ම වග කියන්න ඕන මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව. මේ රටේ ජාතික ආරක්ෂාව විනාශ කරපු එකට, රණවිරුවෝ හිරේ දාපු එකට, ස්වාමීන් වහන්සේලා හිරේ දාපු එකට වග කියන්න ඕනේ මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව. එහෙව් කත් ඇදපු අය එක්ක අපි කොහොමද එකතු වෙන්නේ.පසුගිය ආණ්ඩුව ගැන මිනිසුන්ට තියෙන්නේ ලොකු කළකිරීමක්.
ඒ ආණ්ඩුවට සහය දුන් අය එකතු කර ගත්තොත් අපේ පාක්ෂිකයෝ අපි පිළිබදවත් කළ කිරීමක් ඇති කර ගනී. අනික අපි හදන ආණ්ඩුවකට මේ අය එකතු වීම අපේ ජනතාවාදී වැඩපිළිවෙල අනතුරේ හෙළිමක් වෙන්න පුලුවන් කියන එකයි අපේ පාක්ෂිකයන්ගේ මතය. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපට එකතු කර ගැනීම ගැන පොහොට්ටුවේ බහුතරයකගේ කැමැත්තක් නෑ.
අපේ පක්ෂ නායකයන් මේ තත්ත්වය හොදින් වටහාගෙන කිසියම් තීරණයක් ගනිවි.දැන් තව මතයක් යනවා විද්වතුන් දේශපාලනයට පැමිණීම ගැන. අපි ඒකට එකගයි. හැබැයි මේ සමහර විද්වතුන් පසුගිය රනිල් – මෛත්‍රී හවුලට කඩේ ගිය උදවිය.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ එහෙම නැත්නම් ජනාධිපතිවරණයේ දී අපිට එකතු වුණ අය. එහෙම අය පාර්ලිමේන්තුවට යැව්වොත් අපි හදන්න හදන ජනතාවාදී ආණ්ඩුව ඒ අය තනතුරු, වරප්‍රසාද වෙනුවෙන් විනාශ කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඉදිරි මහ මැතිවරණයේ දී ජනතාව ඉතා පරිස්සමින් තීන්දු තීරණ ගතයුතු යැයි කියන එකයි මගේ අදහස.
මහින්ද – ගෝඨාභය සුසංයෝගය තමයි මේ රට ගොඩ ගත්තේ. දැන් ඒ සුසංයෝගය නැවත් රට තුළ ස්ථාපිත කරන්න අපිට ඉදිරි මහ මැතිවරණයේ දී අවස්ථාව ලැබෙනවා. එතනදී අපි පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ මහින්ද මහතා සමග වැඩ කළ හැකි, ඔහුව රකින පිරිසකුයි.

