එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ මහ ලේකම් තෝරා පත්කර ගැනීම සඳහා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇත.
එම කමිටුවේ සාමාජිකයන් ලෙස නම්කර ඇත්තේ නවීන් දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, රවි කරුණානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.
මේ බව සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංගේ බණ්ඩාර විසින්ද තහවුරු කරනු ලැබිණ.
එජාපය ප්‍රමුඛ නව සන්ධානයේ මහ ලේකම් ලෙස පත් කරන්නේ කවුුරුන්ද යන්න එළඹෙන පෙබරවාරි 06 පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස මෙම ත්රිපුද්ගල කමිටුවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් දන්වා ඇති බවත් රංගේබණ්ඩාර මන්ත්‍රීවරයා එහිදී පැවසීය.
නව සන්ධානයේ මහ ලේකම් ලෙස එක්සත් ජාතික පක්ෂයේ අයකු පත්කරන ලෙසත්, නව මහ ලේකම් තනතුරට අමතරව අනෙකුත් තනතුරු සඳහාද නම් නිර්දේශ කරන ලෙසත් මෙම ත්රිපුද්ගල කමිටුවට උපදෙස් දී තිබෙන බව ඔහු කීය. තනතුරු සඳහා නිර්දේශිත නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කර තීරණයකට එළැඹීමට නියමිත බවද මන්ත්‍රීවරයා පැවසීය.
රංජිත් මද්දුම බණ්ඩාරට මොකද වෙන්නේ ?
කෙසේ වුවත් මේ වන විට එජාපය ප්‍රමුඛ නව සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා පාර්ලිමේන්තු සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර නම් කර ඇත.
මේ සම්බන්ධව අප කල විමසීමකදී එජාප ප්‍රබලයකු සඳහන් කර සිටියේ නම් කිරීමට අවස්ථාව සජිත්ට ඇතත් එය පිළිගැනීම හෝ නොගැනීම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කටයුත්තක් බවය.

