මහින්දගේ විෂයන්වලට ගෝඨාභය අත තියයි !

මහින්දගේ විෂයන්වලට ගෝඨාභය අත තියයි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ස්ථාපිත කර ඇති දරිද්‍රතාව තුරන් කිරීම සහ ජිවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකාය මගින් අගමැති මහින්ද රාජපක්ෂගේ හා  තවත් කැබිනට් අමාත්‍යවරුන් පිරිසකගේ විෂයන්වලට අදාළ කටයුතු සිදුකිරීමේ බලය ලබා ගෙන තිබේ. 

ජනවාරි 25 දින ඇති අංක 2159 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙම කාර්යය සාඳක බලකාය පිහිටුවා ඇත.

ඒ මගින් දක්වා ඇති කරුණු අනුව අගමැති මහින්ද රාජපක්ෂගේ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති බැංකු කටයුතුවලටත්, අගමැතිවරයා යටතේම ඇති නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ජල සම්පාදන මණ්ඩලයටත් උපදෙස් ලබාදීම හා රාජකාරී පැවරීමේ බලය ලබාගෙන ඇත. 

චමල්, ජනක බණ්ඩාර, ජෝන්ස්ටන් හා එස්.එම්.ගේ විෂයන් ඒ අතර:

ඊට අමතරව චමල් රාජපක්ෂගේ අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතභාවය හා පාරිභෝගික සුභසාධක අමාත්‍යාංශය යටතේ ඇති ලංකා සතොස, සතොස හා මාක්ෆෙඩ් යන ආයතනත්, එස්. එම් චන්ද්‍රසේනගේ ඉඩම් අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ඉඩම් කොමසාරිස් දෙපාර්තුමේන්තුවත්, මේ බිම් සවිය වැඩසටහනත් වනජීවි දෙපාර්තුමේන්තුවත්, ජනක බණ්ඩාර තෙන්නකෝන් යටතේ ඇති දිස්ත්‍රික් ලේඛම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතනයත්, ජොන්ස්ටන් ප්‍රනාන්දු යටතේ ඇති මහාමාර්ග අමාත්‍යාංශයත් එම කාර්ය සාධක බලකායේ උපදෙස් හා රාජකාරි පැවරීමේ බලට යටතට ගෙන ඇත.

එම කාර්ය සාධක බලකායට පවරා ඇති කර්තව්‍යන් ඉටු කිරීමට අදාළව අවශ්‍ය විය හැකි උපදෙස් නිකුත් කිරීමට බලය පවරා ඇති අතර, එම උපදෙස් වලට අනුකූලව ක්‍රියාකර යුතු යැයි හා සියලුම සහාය දිය යුතු යැයි සියලු රජයේ නිලධාරීන්ට විධාන කොට ඇත.

එමෙන්ම කිසියම් රාජ්‍ය සේවකයෙකු අමාත්‍යාංශයක, රජයේ දෙපාර්තුමේන්තුවක, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් රජයේ ආයතනයක නිලධාරියෙකු කාර්ය සාධක බලකායට පවරන ලද රාජකාරී හා වගකීම ඉටුකිරීමට ප්‍රමාද කිරීම හෝ පැහැර හරින සියලු අවස්ථා තමාට වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා කාර්ය සාධක බලකායට විධාන කර ඇත.

භාණ්ඩාගාරයේ හිටපු නියෝජ්‍ය ලේකම් එස්. බී දිවාරත්නගේ සභාපතිත්වයෙන් යුත් එම කාර්යසාධක බලකායේ සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති, මහාචාර්ය එච්.එම්.ඩබ්ලිව්. ආරියරත්න හේරත්, මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, ආචාර්ය එස්. එස්. සිවකුමාර්, හිටපු දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, විශේෂඥ වෛද්‍ය සංජීවනි හපුගොඩ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, ගයාත්‍රි ගුණරුවන් සංජීව ගුණවර්ධන හා සමන්ත කුමාරසිංහ යන මහත්ම මහත්මීන්ය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයාට කිසිම අමාත්‍යාංශයක් හෝ අමාත්‍යාංශයේ විෂයක් ඔහු යටතේ තබාගත නොහැකි අතර ආරක්ෂක ආමාත්‍යවරයෙකු පත්නොකර ආරක්ෂක අමාත්‍යාංශයේද ජනාධිපතිවරයා මේ වනවිට තබාගෙන සිටින්නේ  නිල නොවන ආකාරයටය.

(අනිද්දා )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න