රවී අත්අඩංගුවට ගන්න : නීතිපති දප්පුල නීතියට පිටින් ගිහින් !

 රවී අත්අඩංගුවට ගන්න : නීතිපති දප්පුල නීතියට පිටින් ගිහින් !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකව අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා වරෙන්තු ලබා ගෙන ඇත්තේ නීතියට පටහැනිව සහ ද්වේෂ සහගත ලෙසින් යැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා ඊයේ (12) අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත.

තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු පස් දෙනෙකු ගොනු කළ රීට් පෙත්සම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා මේ ලෙස කරුණු දක්වා තිබේ.

එහිදී ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා කරුණු දක්වමින් මෙසේද පවසා ඇත.

‘‘මගේ සේවාදායකයාට එරෙහිව ලබා ගෙන ඇති වරෙන්තුව නීතියට පටහැනියි. මෙහිදී බලධාරීන් කටයුතු කර ඇත්තේ ස්වභාව යුක්ත මූලධර්මයට පටහැනිව. මේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත්වරයා කටයුතු කර ඇත්තේ පක්ෂග්‍රාහීවයි. මගේ සේවාදායකයාට එරෙහිව ක්‍රියාකාර ඇත්තේ ද්වේෂ සහගතව.

මෙම සිද්ධිය පිළිබඳ සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳ ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරිනියක් හැටියට කටයුතු කරන නිසා අගතියක් වන බවට කරුණු දැක්වීමට අවසර ඉල්ලුවත් ඊට කොටුව මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේ නැහැ.

මෙම බී වාර්තාවේ සැකකරුවන් ගෙන් එක් අයෙකුට පමණක් වරෙන්තු නිකුත් කළේ නැහැ. ඒක අගතිගාමී වැඩක්. මෙහි මුල් නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙනවා. එහිම කොටසක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලීම වැරදියි. මෙය හිතාමතා කළ දෙයක්. බැදුම්කර වාර්තාවේ මෙම බැදුම්කර වෙන්දේසි දෙකම පිළිබඳව සඳහන් වෙනවා.ඒ අනුව ඒ දෙකම එකම කරුණක්.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක -  

පළමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී පසුව මෙහාට කරුණු දැක්විය යුතුයි.

ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා -

එහෙම කළොත් අත්අඩංගුවට ගන්නවානේ, බී වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 (2) වගන්තිය අනුවයි.එහෙත් වරෙන්තුව නිකුත් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 139 වගන්තිය යටතේයි. එය වැරදියි. අනික් අතට මගේ සේවාදායකයාට එරෙහිව කිසිඳු චෝදනාවක් බැදුම්කර වාර්තාවේ සඳහන් වී නැහැ. මෙම සිදුවීම මාලාව සිදුවන්නේ රටෙහි ජනාධිපතිවරයා තෝරා ගෙන පසුදින කිහිපයකදියි.

ඉන්පසු තුන්වැනි සහ හතරවැනි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝජ් බණ්ඩාර මෙසේ කරුණු දක්වා ඇත.

‘‘නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා මාගේ සේවාදායකයින්ට අදාළ නැහැ. මගේ සේවාදායකයින්ට නගා ඇති චෝදනා වන්නේ ආධාර අනුබල දීමයි. මගේ සේවාදායක ඉන්දික සමන් කුමාර, වරලත් මූල්‍ය විශ්ලේෂකයෙක්. ඔහු අර්ථ සාධක අරමුදල සමඟ කටයුතු කරන්නේ ද්විතීයක වෙළඳපොල ගැණුම්කරුවෙකු හැටියටයි.

ඒ සෑම ගනුදෙනුවක්ම ඔහුගේ ප‍්‍රධානියා අනුමත කරනු ලබනවා. ඔහු ප‍්‍රාථමික වෙළඳ පොළ සම්බන්ධයෙන් කිසිඳු සම්බන්ධයක් නැහැ. ඒ අනුව ඔහුට චෝදනා ඉදිරිපත් කිරීම වැරදියි. මගේ අනෙක් සේවාදායකයාට ඇත්තේ දුරකතන ඇමතුම් ලබා ගැනීම පමණයි. ඒ අනුව මගේ සේවාදායකයින් දෙදෙනාම නිර්දෝෂී යැයිද හෙතෙම කීය.

පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය තෙවැනි දිනටත් අද  (13) පැවැත්වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ  බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයට රුපියල් බිලියන 52 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව තමන්ව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් , මහ බැංකු වේ හිටපු නිලධාරියෙකු වන සංගරපිල්ලෙයි පද්මනාදන් , බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර සහ චිත්ත රංජන් හුළුගල්ල මෙම රීට් පෙත්සම් පහ ගොනු කර ඇත.

නීතිඥ ගෞරී තවරාසා සහ සුදත් පෙරේරා නීතිඥ සමාගම ගොනු කර ඇති මෙම රීට් පෙත්සම් හී වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය  වංචා අංශයේ ස්ථානාධිපතිවරයා, එම අංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.අම්පාවිල, වැඩබලන පොලිස්පති සි.ඩී.වික්‍රමරත්න , කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක,  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරයා යන අය නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2016 වසරේ සිදුවූ බැදුම්කර වෙන්දේසි දෙකක් තුළින් රජයට රුපියල් බිලියන 52 කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක පසුගිය  6 වැනිදා වරෙන්තු නිකුත් කළ බවයි.

මෙම වරෙන්තු නිකුත් කිරීම මහේස්ත්‍රාත්වරයා සිදුකර තිබෙන්නේ ස්වභාවික යුක්තිය නැමැති නීතිමය මූලධර්මයට පටහැනි බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මඟින් පෙන්වා දෙති.

එබැවින් මෙම නඩු කෘතියට අදාළව පොලිසිය ගොනුකර තිබෙන බී වාර්තාව සහ ඒ මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙසද රවී කරුණානායක ඇතුළු පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නයි නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත නිකුත් කර තිබෙන උපදෙස්ද බලරහිත කරන ලෙස පෙත්සම්කරුවෝ  අභියාචනාධිකරණයෙන් ඉල්ලා  සිටිති.

එසේම මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉවත් කර වෙනත් මහේස්ත්‍රාත්වරයකු වෙත යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ පෙත්සම් වලින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් , එබැවින් තම රීට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත් , එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරැ වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර හිටපු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවී කරුණානායක ඇතුළු පිරිස සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න