Language Switcher

V2025

කොරෝනා ආසාදිතයන් 05ක් දැඩිසත්කාර ඒකකයේ : රටේ 50000ක් ඉන්න පුළුවන් !

ශ්‍රී ලංකාවෙන් තහවුරු කර ගැණුනු කොරෝනා ආසාදිතයින්ගෙන් පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටියි.ඉන් සිව් දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ අංගොඩ IDH රෝහලේය. වැලිකන්ද රෝහලේද තවත් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ශ්‍රී ලංකාවෙන් තහවුරු කළ නව කොරෝනා ආසාධිතයන් ගණන ඊයේ (26) දිනයේ 106 ක් දක්වා වැඩි විය. ඒ, තවත් නව කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු ඊයේ පස්වරුවේ තහවුරු කර ගැනීමත් සමගය.

සමස්තයක් ලෙස මේ දක්වා කොරෝනා ආසාදනය වි පුද්ගලයින් 6 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.මේ අතර සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ කොරෝනා රෝග ලක්‍ෂණ වේ නම් වහාම රජයේ රෝහලකට ඇතුළත් වන ලෙසයි.කොරෝනා රෝග ලක්‍ෂණ පහලවී පෞද්ගලික රෝහල් දෙකකට ඇතුළත් වූ රෝගීන් දෙදෙනෙකු පිළිබද ඊයේ තොරතුරු වාර්තා විය.

ඉන් එක් අයෙකු පසුව අංගොඩ IDH  රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණ.මේ අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින තවත් පිරිසක් අද දිනයේ සිය නිවෙස් වෙත පිටත් කර හැරීමටද නියමිත බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසිය.

'කොරෝනා ආසාදිතයන් 50,000ක් රටතුල සිටිය හැකියි'- පාදෙණිය

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසන්නේ, කොරෝනා වෛරසය ආසාදනය වූවන් මෙරට තුල උපරිම වශයෙන් සිටිය හැක්කේ 50,000 ක පමණ පිරිසක් බවයි.'අද දෙරණ' රූපවාහිනියේ පැවති අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී ඔහු පෙරේදා (25) එබව සඳහන් කළේය.

සංචරණය උපරිම වශයෙන් සීමා කර ඇති නිසා දැනට නිරෝධායන යෙදෙන පිරිස් 22,000ක පමණ පිරිස සමග සම්බන්ධතා පවත්වා ඇති පිරිස අනුව එම පිරිස උපරිමය 50,000 ක් පමණ වනු ඇති බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදිත යයි සැක සිතිය හැකි උපරිම ප්‍රමාණය පනස්දහසක් වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

මෙම තත්වය ජනතාව නිසි ලෙස තේරුම් ගෙන කටයුතු කලහොත් අවදානම අඩු කරගෙන සාර්ථකත්වයට පත් විය හැකි බවත් ඔහු සඳහන් කළේය.නිහඬ පතූරුවන්නන්(silent spreaders) ලොව පුරා නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව වැඩිවෙමින් පවති. අද(මාර්තු 26දා) මෙරට වේලාවෙන් උදේ 8.00 වනවිට ආසාදිත වී ඇති බව තහවුරු කෙරුණු සංඛ්‍යාව  468,523කි.(මූලය: Johns Hopkins Resource Center).

මේ අනුව, ලොව කොයි රටක වුණත් නිල හෝ නිල නොවන  විවිධ මූලයන්ගෙන් හා මාර්ගවලින් දැක්වෙන්නේ වෛරසය ආසාදිත වී ඇති බව “දන්නා” සංඛ්‍යාවයි. ඒත් අප වැඩිදෙනා තේරුම් ගෙන ඇති ආකාරයට වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට සති දෙකක් දක්වා කාලයක් ගතවෙයි.

මෙයින් අදහස් වෙන්නේ, රෝග ලක්ෂණ දක්වන්නේ නැති එහෙත් දැනුවත්ව හෝ නොදැනුවත්ව රෝගය අනුන්ට බෝකරමින් ඉන්නට ඉඩ තිබෙන පිරිසයි. වෙන වචනවලින් කියතහොත් මේ තමයි ‘නිහඬ පතූරුවන්නන්'(silent spreaders).