Language Switcher

V2025

නීතිය සහ ව්‍යවස්ථාව අනූව වැඩ කරන්න : සමගි ජන බලවේගය ආණ්ඩුවට දන්වයි !

කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයට උපරිම සහයක් ලබාදීමට තීන්දු කර ඇති 'සමගි ජන බලවේගය', නමුත් ඒ සඳහා වන රජයේ සියලු කටයුතු ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව සිදුවිය යුතු බව අවධාරණය කර සිටියි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් ඊයේ (30) රැස්වූ එම බලවේගයේ නායකයින් කොවිඩ් 19 හෙවත් කොරොනා උවදුර පිළිබඳව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන විශ්ලේෂණාත්මක විමර්ශනයක් කරමින් එම තීන්දුව ගෙන තිබේ.

සමගි ජන බලවේගයේ පක්ෂ නායකයින්ගේ හමුව අවසානයේ  ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් 2020 මාර්තු 30 දින රැස්වූ විවිධ දේශපාලන පක්ෂ වලට අයත් නායකයින් විසින් කොවිඩ් 19 හෙවත් කොරොනා උවදුර පිළිබඳව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන විශ්ලේෂණාත්මක විමර්ශනයක් කරන ලදී.

වගකීම් විරහිත හැසිරීම !

එහිදී පහත සදහන් කරුණු පිළිබඳව එකගතාවයක් ඇති විය.

1.මෙම රෝගයේ ජාතික හා ජාත්‍යන්තර ව්‍යාප්තිය සලකා බලා මෙය මර්ධනය කිරීම රාජ්‍ය කටයුත්තක් බැවින් එය මර්ධනය උදෙසා රාජ්‍ය යාන්ත්‍රනයට සම්පූර්ණ සහය දීමට තීරණය කෙරිනි.

2.එමෙන්ම හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද  සමගි ජන බලවේගයේ නායකයින්ද වරින් වර අනතුරු අගවා තිබියදීත් නිසි වේලාවට සුදුසු ක්‍රියාමාර්ග නොගැනීම නිසා සමස්ත රටම ආහාර හිගයකට ඇද දමා ඇදිරි නීතියටද මුහුණ දීමට සිදු විය.

3.ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයකි.විදෙශිකයින්ට පැමිණිය හැකි මර්මස්ථානය ගුවන්තොටුපලයි.තීරණාත්මක අවස්‍ථාවේ එය වසා නොදැමීමත්,එතෙර සිට පැමිණෙන පිරිස් විධිමත් ලෙස පරික්ෂා නොකිරීමත් බරපතල වරදක් වන අතර මෙරටින් හමුවූ පළමු කොරොනා රෝගියා සංචාරක මග පෙන්වන්නෙක් වූ අතර එවැනි තත්ත්වයක් තුල පවා සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් රජය විසින් දියත් කරනු ලැබුවේ ලංකාව කොරෝනා වලින් තොර රටක් බවට ප්‍රචාරය කරමිනි.

ජනවාරි 24සහ පෙබරවාරි 5මේ පිළිබඳව බරපතල අනතුරු ඇගවීමක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකර තිබුණද සෞඛ්‍ය ඇමැතිනියගේ සහ ආණ්ඩුවේ ප්‍රතිචාර වූයේ එවැනි වසංගත තත්ත්වයක් රටේ නොමැති බවයි. ඒ නොසැලකිලිමත් ක්‍රියාදාමය මේ තත්ත්වයට හේතු වු බව අපගේ නිගමනය යි.

4.කෙසේ හෝ මහ මැතිවරණයක අවශ්‍යතාව නිසාත් නාමයෝජනා ලබාදීමේ අවශ්‍යතාව නිසාත් මේ වසංගතය දුරු කිරීමට ක්‍රියාමාර්ග ගැනීම මන්දගාමී විය.

නමුත් අවසන් මොහොතේ මැතිවරණ කොමිසම විසින් කුමන පීඩාවක් යටතේ වුවද මැතිවරණයට වඩා ජනතාවගේ සහ රාජ්‍ය සේවකයින් ගැන සලකා මැතිවරණය කල් දැමීම ගැන අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙමු.යහපාලන ආණ්ඩුව සමයේ සම්මත කළ 19වන ව්‍යවස්ථාව සංශෝධනය නිසා මැතිවරණ කොමිසම ශක්තිමත් වූ බවද පැවසිය යුතුය.

5. ආණ්ඩුව පළමුකොට කළ යුත්තේ වෛරස් රෝග පිළිබදව රටේ සිටින විශේෂඥයින්  5 දෙනා සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙවැනි වෛරස් රෝග පාලනය සදගා පුහුණු කරන ලද විශේෂඥයින්  2 දෙනා මුල්කරගත් විශේෂඥ  මණ්ඩලයක් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශය මුල් කරගත් කාර්‍යසාධක බලකායක් මගින් අනෙකුත් ක්ශෙත්‍ර වලට මාර්ගෝපදේශ සැපයීම බව අවධාරණය කරමු.

6.ඇදිරිනීතිය නිසා රටේ පවතින ආහාර හා ආදායම් අහිමිවූවන් මෙන්ම දුගීකමේ පත්ලෙහි සිටින ජනතාවට නොමිලේ වියලි සලාකයක් දියයුතු බවට අපි ඉල්ලා සිටිමු.එමෙන්ම අනෙකුත්  ආදායම් සහිත,නමුත් මේ මොහොතේ අසරණව සිටින පිරිස්වලටද එකී වියලි සලාකය ලබා දියයුතු බව යෝජනා කරමු. එය සෑම සතියකම ලබා දියයුතු අතර වැදගත්ම කාරණය වන්නේ ග්‍රාමනිලධාරීගෙන් පටන්ගෙන රාජ්‍ය නිළධාරීන් ලවා එය ක්‍රියාත්මක කිරීමයි. මෙයට ආණ්ඩු පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් සම්බන්ධ කර ගැනීම ගැන අපගේ පිළිකුල සහ දැඩි විරෝධය පළ කරමු.

මේ ගැන මැතිවරණ කොමිසම ද පියවර ගතයුතු යැයි අවධාරණය කරමු.ජනතාවට පක්ෂ පාට කුල මල භේදයකින් තොරව ආහාර නැමති මූලික අවශ්‍යතාව ලැබිය යුතුයැයි අපි අවධාරණය කරමු.

8.මේ රටේ කොරොනා වලට අමතරව විවිධාකාර රෝගීන් ලක්ෂ ගණනක් සිටිති.එමෙන්ම රටේ ඖෂධ හිගය,උපකරණ හිගය පිළිබදව අපට තොරතුරු ලැබී තිබේ. එහෙයින් නොපමාව එකී හිගයන් වලට පිළියම් යෙදිය යුතුයැයි අපි අවධාරණය කරමු.

එමෙන්ම ඖෂධ විධිමත්ව රෝගීන්ට ලබා දීමට ග්‍රාමනිලධාරීන් හා සෞඛ්‍ය ක්ශේත්‍ර නිළධාරීන් හරහා වැඩ පිළිවෙළක් සැකසීම පිළිබදව රජයේ අවධානය යොමු කරමු.
ඒ සදහා රජයේ සහ පෞද්ගලික ඖෂධ ශාලාවල සහය මෙන්ම අනෙකුත් ආයතනවල සහය ලබා ගන්නා ලෙසට යෝජනා කරමු.

9.මේ සියල්ල රජය කළයුත්තේ ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව බව අප විශ්වාස කරමු.දැනට සම්මත අතුරු සම්මත ගිණුම වලංගු වන්නේ අප්‍රේල් 30වෙනිදා දක්වා පමණි .
එමෙන්ම පවතින ව්‍යවස්ථාවට අනුව ඊළග පාර්ලිමේන්තුව කැදවන දිනයට ඔබ්බෙන් මිස මේ කාලයතුල මුදල් වියදම් කිරීමට නියෝග දීමෙහි බලයක් ජනාධිපතිට හෝ මුදල් ඇමැතිට නැත.එබැවින් කොරොනා උවදුර මඩින්නට අවැසි අරමුදල් සම්පාදනය සදහා ව්‍යවස්ථාමය අනුමැතියක් අවශ්‍ය හෙයින් වහාම පාර්ලිමේන්තුව කැදවා ඊට අනුමැතිය ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු. බහුතර බලය අප සතු උවද එවැනි අනුමැතියක් සදහා අපගේ උපරිම සහය ලබා දෙමු.ඒ වගට සහතික වෙමු.

10. මේ සම්බන්ධයෙන් සියලු පක්ෂ,සිවිල් සංවිධාන,විවිධ ආයතන ,දෙස් විදෙස් විශේෂඥයින්  හා සමාජ ක්‍රියාකාරිකයින් සහ ආයතන සමග සක්‍රීයව සම්බන්ධ වීම,අදහස් හුවමාරුව  හා තොරතුරු විනිවිඳ පෙනෙන සේ කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවත්,හුදු දේශපාලන වාසි ලබා ගැනීමට සහ දේශපාලන දඩයමට අවස්‍ථාව නොවන බවත් අපි රජයට අවධාරණය කරමු.

දිගින් දිගටම සමගි ජන බලවේගයේ පක්ෂ නායකයින් දුරකතන හා මෙවැනි හමුවීම් තුලින් මේ උවදුරින් රට ගොඩනැගීම උදෙසා සාකච්ඡා කරන බවත් රජයට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන බවත් දන්වා සිටිමු.

මේ උවදුර පරාජය කිරීම උදෙසා රජයට,නිළධාරීන්ට අවශ්‍ය සහය ලබා දෙන ලෙස

සියලු පාක්ෂිකයන්ගෙන් සහ රට වැසියන්ගෙන් ඉල්ලා සිටිමු.

සජිත් ප්‍රේමදාස මැතිතුමා 
පාඨලී චම්පික රණවක මැතිතුමා  
මනෝ ගනේෂන් මැතිතුමා
පී.දිගම්බරන් මැතිතුමා
රිෂාඩ් බදූර්දීන් මැතිතුමා
රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා
රාජිත සේනාරත්න මැතිතුමා
රවුෆ් හකීම් මැතිතුමා
රාධක්‍රිෂ්නන් මැතිතුමා
කුමාර වෙල්ගම මැතිතුමා
ස්තූතියි මෙයට විශ්වාසී
සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found